
ඉඩම් අයිතිය සම්බන්ධයෙන් කටයුතු කරන ක්රියාදරයින්ට එරෙහිව සිදුකරන ලද පහරදීම ඉඩම් අයිතිය සදහා වන ජනතා සන්ධානය තරයේ හෙලා දකී !
Published
ඉඩම් අයිතිය සඳහා කටයුතු කරන ක්රියාදරයින්ට එරෙහිව ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරීන් ඇතුළු කණ්ඩායම විසින් සිදුකරන ලද පහරදීම හෙළා දකිමු - නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරමු!
ඉඩම් අයිතිය සඳහා වු ජනතා සන්ධානයේ මුල් පෙළේ සමාජිකයෙකු ද, අම්පාර දිස්ත්‍රික් ඉඩම් අයිතිය සඳහා වන සන්ධානයේ කැදවුම්කරු ද වන, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඉඩම් හා අනෙකුත් මානව හිමිකම් සම්බන්ධයෙන් තීරණාත්මක මැදිහත් වීමක් සිදුකරන, HEO ආයතනයේ අධ්යක්ෂ, නිහාල් අහමඩ් මහතා ඇතුළු පිරිසකට පසුගිය අප්‍රේල් 5 වන දින සමන්තුරේ, මොරවිල් ආර ප්‍රදේශයේදී ගල්ඔය වැවිලි සමාගමේ නිලධාරීන් බව පවසන පිරිසක් විසින් මරණ තර්ජනය කරමින් අමානුෂික පහර දීම, ඉඩම් අයිතිය සදහා වන ජනතා සන්ධානය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් පාරම්පරිකව ගොවිතැන් කිරිම සඳහා භාවිතා කරන ලද ඉඩම් අක්කර 7250 කට ආසන්න ප්‍රමාණයක් 1965 දී රජය විසින් පවරා ගන්නා ලදී. අත්පත් කරගත් ගොවීන්ගෙන් ඇතැම් අය සඳහා “උක් වගාව සඳහා පමණක් ය” යන කොන්දේසිය මත විකල්ප ඉඩම් ලබා දුන් අතර, සමහර ගොවීන් සඳහා වන්දි මුදල් ලබා දී තිබේ. එහෙත්, අද වනතුරුම ගොවින් බොහෝ ප්‍රමාණයකට විකල්ප ඉඩම් හෝ වන්දි කිසිවක් ලබා දී නැත. සාම්ප්‍රදායික වී ගොවීන් ඉවත් කළ භූමියේ වෙනත් ප්‍රදේශවල ගොවීන් පදිංචි කිරීම, රජය විසින් ගනු ලැබූ තවත් ක්රියාමාර්ගයකි. රජයේ මෙම ප්රවේෂය ගොවි ප්‍රජාවන් අතර ආතතීන්ට හේතු විය. 1997 සිට 2007 දක්වා කාලය තුළ සීනි සංස්ථාව ක්‍රියා විරහිත වූ අතර ගොවීන් සිය ජීවිකාව සඳහා මෙම ප්‍රදේශවල වී වගා කළ අතර, වී වගාව වඩාත් ලාභදායී බව ගොවීන්ට පෙනෙන්ට තිබුණි. 2007 වසරේ සිට මෙම ඉඩම් කළමනාකරණය කරනු ලැබුවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයෙන් යුත් ගල්ඔය වැවිලි (පුද්ගලික) සමාගම හරහා වන අතර එහි 51%ක කොටස් රජය සතුය. ප්‍රදේශයේ උක් වගාව නුසුදුසු බෝගයක් බවට මේ වන විට ස්ථාවර මතයක් ගොවීන් අතර පවතින අතර, උක් වගාව අසාර්ථක වීම නිසා, ආදායම් මාර්ග ඇහිරී යාම හේතුවෙන් බොහෝ ගොවියන් සහ ඔවුන්ගේ පවුල්වල අය කිසිවක් කර කියා ගත නොහැකි අසරණ තත්වයකට පත්ව තිබේ.
ගොවින්ගේ පාරම්පරික ඉඩම් අයිතිය අහිමි කරවීම හා උක් වගාව තුළ මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික්, ඉඩම් අයිතිය සඳහා වන සන්ධානය වශයෙන් පහුගිය කාලය පුරා විවිධ මැදිහත්වීම් සිදු කර තිබෙන අතර, ජනාධිපතිතුමන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු වගකිව යුතු පාර්ෂවයන් කිහිප විටක දී මේ සම්බන්ධව දැනුවත් කර ඇත. මෙවන් තත්වයක් යටතේ, 2023 අප්‍රේල් 5 වන දින, ගොවින්ගේ අත්පත් කර ගත් ඉඩම් හඳුනා ගැනීම සඳහා නිහාල් අහමඩ්, අම්පාර දිස්ත්‍රික් ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානයේ සභාපති පී. කයිරුදීන්, උපදේශක එම්. එම්. එම්. ඉෆ්තිකාර් සහ ගොවි මහතුන් කිහිප දෙනෙකුන් ඇතුළු කණ්ඩායමක් අදාල ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර, එහි දී කොට්ඨාස කිහිපයක ගොවි ඉඩම් හඳුනා ගැනීම ඔවුන් විසින් සිදු කර තිබේ.
ඉඩම් හඳුනාගන අවසානයේ නැවත ඒමට පිටත්වන අවස්ථාවේ දි ගල්ඔය වැවිලි සමාගමේ නිළධාරින් යැයි කියා ගන්නා ලද පිරිසක්, ඔවුන් පැමිණි වාහනය නවත්වා නිහාල් අහමඩ් මහතා ඇතුළු කණ්ඩායමට මරණ තර්ජනය කරමින්, හුදකලා ස්ථානයකට ගෙන ගොස් එහිදී ඔවුන්ට ශාරීරිකව පහරදී ඇත. ආසන්න වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකු විසින් පැය කිහිපයක් බලහත්කාරී ලෙස රඳවා තබා ගනිමින්, මරණ තර්ජනය එල්ල කොට ඇත. පහර දී ඇඳුම් ගලවා දමා ඒවා වීඩියෝ කොට, මෙම පහරදීම සහ පැහැරගන යාමට එරෙහිව නීතිය ඉදිරියට ගියහොත්, වීඩියෝ මහජනතාවට බැලීම සඳහා සමාජ මාධ්‍යයට මුදා හරින බව තර්ජනාත්මකව පවස තිබේ. නිහාල් අහමඩ් මහතා මේ සම්බන්ධව සමන්තුරේ පොලීසියට පැමිණිල්ලක් ගොණු කර ඇති අතර (පැමිණිලි අංක - CIB II 40/77) ඊට අදාලව පොලිස් විමර්ශන සමන්තුරේ පොලීසිය මේ වනවිට ආරම්භ කොට තිබේ.
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය වශයෙන් අපි, මෙම පහරදීම තරයේ හෙලා දකින අතර, මෙයට අදාල, පහරදුන් පුද්ගලයින් නීතිය හමුවට ගෙන ඒම සඳහා මෙන්ම ඉඩම් අහිමි වූ ගොවීන්ට සාධාරණය ඉෂ්ඨ කිරීම සඳහා කඩිනමින්, අදාල සියළු බලදරයින්ගේ අවධානය යොමු වනු ඇතැයි අප, අපේක්ෂා කරමු.
........................
සඳුන් තුඩුගල
ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය.
PARL මහජන ඉඩම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්
අර්මිසා ටීගල්
ගොඩ්ප්‍රී මලර්නේසන්
ඉරෝමි පෙරේරා
ජන්සිලා මජීඩ්
මහේන්ද්‍රන් තිරුවාරන්ගන්
ප්‍රියලාල් සිරිසේන
සජීව චාමිකර
සරලා එම්මානුවෙල්
ටී ගනේශ ලිංගම්
ප්‍රියන්කර කොස්තා