මෙරට ඛනිජ වැලි කැණීම්, පාරිසරික අර්බුදය සහ යථාර්ථය | PARL | PARLමෙරට ඛනිජ වැලි කැණීම්, පාරිසරික අර්බුදය සහ යථාර්ථය
මෙරට ඛනිජ වැලි කැණීම්, පාරිසරික අර්බුදය සහ යථාර්ථය
ශ්රී ලංකාවේ වෙරළ තීරය ආශ්රිත ඛනිජ සම්පත් පිළිබඳව රට තුළ අලුත් සාකච්ඡාවක් මතුව තිබේ. ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, ගානට් සහ මොනසයිට් වැනි ඛනිජ අඩංගු වැලි, කර්මාන්ත හා අපනයන සඳහා ආර්ථික වටිනාකමක් ඇති සම්පතක් ලෙස හඳුනාගෙන ඇත. එහෙත් ප්රශ්නය වන්නේ එම සම්පත ලබාගැනීමේදී පරිසරයට, භූගත ජලයට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට සහ වෙරළාශ්රිත ජනතාවගේ ජීවිතවලට ඉන් සිදුවන බලපෑමයි.
පසුගිය අගෝස්තු 21 සහ 22 දෙදින පැවැති මෙරට උතුර, නැගෙනහිර සහ දකුණු පළාතේ වෙරළාශ්රිත කලාපවල ජීවත් වන සමාජ හා පරිසර ක්රියාකාරීන් සඳහා පැවැත්වුණු වැඩසටහනක් සඳහා සම්පත්දායකයකු ලෙස සහභාගී වූ පරිසරවේදී සජීව චාමිකර මහතා, ඛනිජ වැලි කැණීම්වල ආර්ථික වාසි පමණක් නොව, එහි සැඟවුණු පාරිසරික හා සමාජීය ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දුන්නේය. එහිදී ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණු සහ ක්ෂේත්ර නිරීක්ෂණ ඇසුරෙන් මෙම ලිපිය සකස් කර ඇත.
1. ඛනිජ වැලි යනු මොනවාද? ඒවා නිර්මාණය වන්නේ කෙසේද?
ශ්රී ලංකාවේ වයඹ, උතුරු, නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප්රදේශවල දක්නට ලැබෙන ඛනිජ වැලි යනු වසර මිලියන ගණනක් පුරා සිදුවූ ස්වාභාවික භූවිද්යාත්මක ක්රියාවලියක ප්රතිඵලයකි. එනම්, මධ්යම කඳුකරයේ සහ දිවයිනේ අනෙකුත් උස්බිම්වල පිහිටි පාෂාණ, වර්ෂාව, ගංවතුර සහ අනෙකුත් කාලගුණික බලපෑම් හමුවේ ක්රමයෙන් කැඩී බිඳී, එම පාෂාණවල අඩංගු ඛනිජ කොටස් ඇළ මාර්ග සහ ගංගා ඔස්සේ පහළට ගමන් කර අවසානයේ මුහුදට එක් වේ.
මුහුදට ගිය පසු එම වැලි සහ ඛනිජ කොටස්, මුහුදු රළ, දියවැල් සහ වෙරළාශ්රිතව සිදුවන කැළඹීම් මගින් නැවතත් වෙරළ දෙසට ගෙන එනු ලබයි. විශේෂයෙන්ම ශ්රී ලංකාව වටා ඇති නොගැඹුරු මහද්වීපික තටකය නිසා මේවා වෙරළ ආශ්රිත සාගර කලාපය තුළම තැන්පත් ව තිබී පසුකාලීනව වෙරළට ගසාගෙන ඒම සිදු වේ. සාමාන්ය ක්වාට්ස් වැලිවලට සාපේක්ෂව ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන්, ගානට් සහ මොනසයිට් වැනි ඛනිජවල ඝනත්වය වැඩි බැවින් සැහැල්ලු වැලි කොටස් සුළඟ සහ රළ මගින් ඉවත් වන විට, බරින් වැඩි ඛනිජ කොටස් සහ වැලි වෙරළේ විශේෂිත ස්ථර ලෙස තැන්පත් වේ. මෙම ක්රියාවලිය තුළ සිදුවන්නේ ඛනිජ, වෙරළ තුළ තැන්පත් කිරීම පමණක් නොව එම බර ඛනිජ ස්ථර වෙරළේ ස්ථාවරත්වයටද දායක වේ.
2. ශ්රී ලංකාවේ ප්රධාන ඛනිජ වැලි කලාප සහ දැනට ක්රියාත්මක ව්යාපෘති
ශ්රී ලංකාවේ ඛනිජ වැලි නිධි ව්යාප්තිය දෙස බැලීමේදී ඒවා දිවයින වටා පිහිටි අතිශය සංවේදී පරිසර පද්ධති, කලපු, මිරිදිය මූලාශ්ර සහ ධීවර ජන ජීවිත සමඟ කෙතරම් තදින් බද්ධ වී ඇත්දැයි පැහැදිලි වේ. මෙරට ප්රධාන ඛනිජ වැලි තැන්පතු නැගෙනහිර, අග්නිදිග, උතුරු-නැගෙනහිර මෙන්ම වයඹදිග වෙරළ තීරයන් ඔස්සේ ව්යාප්ත වී ඇති ආකාරය පහත දැක්වෙන භූගෝලීය සිතියමෙන් මනාව පැහැදිලි වේ.
ශ්රී ලංකාවේ ඛනිජ වැලි නිධි ව්යාප්තිය. Source: ResearchGate
ඉහත සිතියමෙන් නිරූපණය වන පරිදි, දිවයිනේ ප්රධාන ගංගා පද්ධති මගින් සාගරයට ගෙන එන ලද බර ඛනිජ කොටස් වෙරළ කලාප කිහිපයක මූලික වශයෙන් තැන්පත්ව පවතී. එම කලාපික ව්යාප්තිය, දැනට සැලසුම් කර ඇති ව්යාපෘති සහ ඒවායින් මතුවන පාරිසරික බලපෑම් කොටස් 3ක් යටතේ මෙසේ අධ්යයනය කළ හැක:
(අ) නැගෙනහිර, අග්නිදිග සහ දකුණු වෙරළබඩ කලාපය
ශ්රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්රිකුණාමල දිස්ත්රික්කයේ වීරගුල් සිට මඩකලපුව දිස්ත්රික්කයේ වාකරේ, අම්පාර දිස්ත්රික්කයේ ඔලුවිල්, අක්කරෙයිපත්තුව, තිරුක්කෝවිල්, කොමාරි, පොතුවිල් සහ පානම හරහා කුමන, කිරින්ද සහ හම්බන්තොට දක්වා විහිදෙන වෙරළ තීරය අතිශය සංවේදී මෙන්ම වටිනා ඛනිජ වැලි නිධිවලින් සමන්විත කලාපයකි. මෙම පාරිසරික පද්ධතිවල නිර්මාණය පිටුපස වසර මිලියන ගණනක ස්වාභාවික භූවිද්යාත්මක ක්රියාවලියක් පවතී. මධ්යම කඳුකරයෙන් ආරම්භ වන හැඩ ඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ සහ කිරිඳි ඔය වැනි ප්රධාන ගංගා පද්ධති මගින් පහළට ගෙන එන ලද රොන්මඩ සහ බර ඛනිජ කොටස් මුහුදු රළ හා දියවැල් මගින් වෙරළ තීරය වෙත තැන්පත් වීමෙන් මෙම සුවිශේෂී පරිසර පද්ධති නිර්මාණය වී ඇත.
ඒ අනුව වර්තමානය වනවිට මෙම ප්රදේශවල ව්යාප්තව ඇති ඛනිජ ලබා ගැනීමේ අරමුණින් යුතුව මහා පරිමාණ ඛනිජ නිස්සාරණ ව්යාපෘති ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, බ්රිතාන්ය ආයෝජන සමාගමක් වන Capital Metals (Taprobane Minerals Project) ආයතනය විසින් ඔලුවිල් සහ කොමාරි සිට අක්කරෙයිපත්තුව දක්වා වූ නැගෙනහිර වෙරළ තීරයේ මහා පරිමාණ ඛනිජ වැලි නිස්සාරණය උදෙසා ගවේෂණ බලපත්ර ලබාගෙන තිබේ. මෙම ව්යාපෘති සැලසුම යටතේ කැණීම් භූමිය ආශ්රිතව ස්ථාපිත කෙරෙන Wet Plant (තෙතමනය සහිත පදම් කිරීමේ යන්ත්ර) මගින් ජලය භාවිත කර සාමාන්ය වැලි ඉවත් කොට, බර ඛනිජ (HMC - Heavy Mineral Concentrate) වෙන් කරගැනීමට නියමිතය. අනතුරුව එම HMC තොගය ඔලුවිල් වරාය ආශ්රිතව ඉදිකිරීමට යෝජිත Dry Plant වෙත ප්රවාහනය කර, ඉල්මනයිට්, රූටයිල් සහ සර්කෝන් වැනි ඛනිජ වෙන වෙනම වෙන් කර අපනයනය කිරීමට සැලසුම් කර ඇත.
කෙසේ වෙතත්, මෙවැනි මහා පරිමාණ කැණීම් ක්රියාවලීන් නිසා මෙම කලාපයේ පරිසරයට සහ මෙම ප්රදේශවල වාසය කරන මිනිසුන්ගේ ජන ජීවිතයට එල්ල වන බලපෑම ද අතිමහත් විය හැකිය. මෙම කැණීම් නිසා වෙරළ තීරයේ පිහිටි ස්වාභාවික ආරක්ෂිත වැලි වැටි විනාශ වී යාමෙන් වෙරළ ඛාදනය දැඩි විය හැකි අතර, වෙරළාශ්රිත කලපු සහ කඩොලාන පද්ධති විනාශ වී නොගැඹුරු මුහුදේ මත්ස්ය ගහනය ශීඝ්රයෙන් අඩු වීමට ද බලපෑ හැකිය. එම නිසා එය දේශීය ධීවර ජනතාවගේ සාම්ප්රදායික ජීවනෝපාය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හේතු වේ. මීට අමතරව, ස්වාභාවික වැලි ස්ථර ඉවත් වීමත් සමඟ මුහුදු ජලය ගොඩබිමට ගලා ඒම නිසා ප්රදේශයේ භූගත මිරිදිය මූලාශ්රවලට කරදිට එක්වීමේ දැඩි අවදානමක්ද පවතී.
තවද, මෙම අර්බුදය හුදෙක් පරිසරයට සහ ධීවර කර්මාන්තයට පමණක් සීමා නොවී, ප්රදේශයේ නැගී එන සංචාරක කර්මාන්තයටද බලපෑම් කළ හැකිය. ලෝකප්රකට ‘සර්ෆින්’ (Surfing) ක්රීඩා පාරාදීසයක් වන අරුගම්බේ වෙරළ තීරය මෙන්ම, වර්තමානය වනවිට නැගී එන සංචාරක කලාපයක් ලෙස දෙස්-විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගනිමින් පවතින සුන්දර පානම වෙරළ කලාපයටද මෙම ව්යාපෘතිය ක්රියාත්මක වීම හරහා බලපෑම් එල්ල විය හැකිය. ඛනිජ කැණීම් නිසා සිදුවන වෙරළ ඛාදනය වීම මත නොගැඹුරු මුහුදේ රළ පහරේ ස්වාභාවය වෙනස් වීම, සමුද්රීය පරිසරය දූෂණය වීම හමුවේ මෙම ප්රදේශවලින් සංචාරක ආකර්ෂණය ඉවත් වී යාමට හේතු විය හැකි කාරණාවන් වේ. අවසානයේදී, රටට අතිශය වටිනා විදේශ විනිමය ගෙනෙන තිරසාර සංචාරක කර්මාන්තයත්, ඒ මත යැපෙන දේශීය ජනතාවගේ හෙට දවසත් මෙම ප්රදේශ ආශ්රිතව ආරම්භ වීමට නියමිත ඛනිජ වැලි කැණීම් හමුවේ වැළලී යාමේ දැඩි අවදානමක් පවතී.
(ආ) උතුරු-නැගෙනහිර ඉහළ වෙරළබඩ කලාපය
ශ්රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් යා කරන පුල්මුඩේ, තිරියාය, කෝකිලායි, නයාරු, මුහත්තුවරම්, කොක්කුතොඩුවායි සහ චෙම්මලෙයි දක්වා විහිදෙන වෙරළ තීරය මෙරට පිහිටි තවත් ප්රධාන ඛනිජ වැලි කලාපයකි. මෙහි ඓතිහාසික පසුබිම දෙස බැලීමේදී, ශ්රී ලංකාවේ පැරණිතම සහ ප්රධානතම ඛනිජ වැලි නිස්සාරණ ක්රියාවලිය වසර ගණනාවක් තිස්සේ ක්රියාත්මක වන්නේ පුල්මුඩේ කේන්ද්ර කරගනිමිනි. එහෙත් එම දීර්ඝකාලීන කැණීම්වල අතුරු ඵලයක් ලෙස ‘කල්ලරාව’ වැනි දේශීය ධීවර ගම්මාන ආශ්රිත වෙරළ දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති අතර, ඛනිජ වැලි ප්රවාහනය සහ පිරිසැකසුම් ක්රියාවලීන් නිසා ඇතිවූ දූවිලි හේතුවෙන් ප්රදේශයේ මිනිසුන්ගේ සෞඛ්යයටද දැඩි බලපෑම් එල්ල වී ඇත.
අතීතයේ සිදු වූ මෙම පාරිසරික හා සමාජීය හානිය තවමත් පැහැදිලිව පෙනෙන්නට තිබියදී, වර්තමානයේ මෙම ඛනිජ වැලි කැණීම් සීමාවන් පුල්මුඩේ සිට තිරියාය, කෝකිලායි, නයාරු, මුහත්තුවරම්, කොක්කුතොඩුවායි සහ චෙම්මලෙයි දක්වා වූ මුළු ඉහළ වෙරළ තීරය පුරාම තවදුරටත් ව්යාප්ත කිරීමට සැලසුම් කරමින් පවතී. මෙලෙස පාලනයකින් තොරව කැණීම් ව්යාප්ත කිරීම තුළින් මෙම කලාපවල සිටින ධීවර ජනතාවගේ ප්රධාන ජීවනාලිය බඳු කෝකිලායි සහ නයාරු වැනි සංවේදී කලපු පද්ධති මුළුමනින්ම විනාශ වී යාමේ දැඩි අවදානමක් මතුවේ. මෙම කලපු ආශ්රිතව මත්ස්යයින් බිත්තර දමන ස්ථාන සහ ඒ ආශ්රිත පරිසර පද්ධතිය වැනසී යාම හමුවේ, සමස්ත ප්රදේශයේම ධීවර ජනතාවගේ දෛනික ජීවනෝපාය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ බරපතල අර්බුදයක පෙරනිමිති දැනටමත් පහළ වී ඇත.
(ඇ) වයඹ සහ උතුරු වෙරළබඩ කලාපය
ශ්රී ලංකාවේ වයඹ සහ උතුරු වෙරළබඩ තීරයට අයත් කල්පිටිය, මන්නාරම දූපත සහ යාපනය මණ්ඩතිව් ආශ්රිත කලාපය අතිශය සුන්දර මෙන්ම භූවිද්යාත්මකව ඉතා සංවේදී පරිසර පද්ධතිවලින් සමන්විත ප්රදේශයන් වේ. මෙම කලාපයේ පිහිටි ඛනිජ වැලි ඉලක්ක කරගනිමින් මහා පරිමාණ කැණීම් ව්යාපෘති ක්රියාත්මක කිරීමට වර්තමානයේ සැලසුම් කරමින් ඇත.
ඒ අතරින් ප්රධාන වශයෙන්, ඕස්ට්රේලියානු සමාගමක් වන Titanium Sands සමාගම විසින් මන්නාරම් දූපතේ පිහිටි වර්ග කිලෝමීටර් 140 ක තරම් වූ අතිශය සංවේදී වෙරළබඩ තීරයක මහා පරිමාණ ඛනිජ වැලි නිස්සාරණය වෙනුවෙන් සැලසුම් සකස් කර තිබේ.
ඒ අනුව, මන්නාරම, කල්පිටිය සහ මණ්ඩතිව් වැනි දූපත් හා අර්ධද්වීපික භූමීන් ඉලක්ක කරගනිමින් සිදුකිරීමට යෝජිත මෙවැනි මහා පරිමාණ කැණීම් සහ සංවර්ධන ව්යාපෘති නිසා එම ප්රදේශවල පරිසර තත්ත්වයන්ට සහ ජන ජීවිතයට එල්ල විය හැකි තර්ජනය අතිශය බරපතලය. විශේෂයෙන්ම දැනටමත් ක්රියාත්මක කර ඇති සුළං විදුලි බලාගාර ව්යාපෘතිය හේතුවෙන් මන්නාරම් දූපත ගංවතුර තර්ජනයන්ටද ලක්වෙමින් තිබේ. මෙම ප්රදේශයන්හි භූගත ජල මූලාශ්ර පවතින්නේ පස් සහ වැලි ස්ථර අතර පවත්නා කරදිය සහ මිරිදිය සමතුලිතතාවය මතය. මෙම ව්යාපෘතිවලදී, භූමිය අභ්යන්තරයට සිදු කරන ලද කැණීම් නිසා, එම පාරිසරික සමතුලිතතාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් පවතී. එහිම ප්රතිඵලයක් ලෙස මුහුදු ජලය ගොඩබිම් භූගත ජල ස්ථර වෙත ගලා ඒමෙන්, ප්රදේශයේ ජනතාවගේ පානීය ජල මූලාශ්ර ලවණතාවයට පත් වනවා මෙන්ම කෘෂිකාර්මික වගා භූමිද වගා කිරීමට නුසුදුසු තත්ත්වයට පත් වෙමින් පවතින අර්බුදයක් නිර්මාණය වී ඇත.
3. ගවේෂණ බලපත්රයක සිට කැණීම් බලපත්රයක් දක්වා යාම
ඛනිජ වැලි ව්යාපෘති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ ගවේෂණ බලපත්ර නිකුත් කිරීමේ ක්රියාවලියයි. පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන පරිදි, ගවේෂණ බලපත්රයක (Exploration License - EL) මුල් සහ එකම නීතිමය අරමුණ විය යුත්තේ, යම් ප්රදේශයක ඛනිජ තැන්පත් වී තිබේද යන්න දැනගැනීම සඳහා සීමිත පස් සාම්පල ලබාගෙන භූවිද්යාත්මක පරීක්ෂණ සිදු කිරීම පමණි. නමුත් ප්රායෝගිකව සිදු වන්නේ, මෙම ගවේෂණ බලපත්රය පලිහක් කරගනිමින් Capital Metals, Alchemy Lanka, Titanium Sands වැනි දේශීය හා විදේශීය සමාගම් විසින් යෝජිත ප්රදේශයන්හි මහා පරිමාණ කැණීමකට පාර කපා ගැනීමයි.
මෙහි ඇති බරපතලම ගැටළුව වන්නේ, පසුකාලීනව රාජ්ය බලපෑම්, දේශපාලන හිතවත්කම් හෝ පරිපාලනමය සිදුරු භාවිත කරමින් පරිසර ආරක්ෂණ නීතිරීති තමන්ට අවශ්ය පරිදි ලිහිල් කරගැනීමට මෙම සමාගම් කටයුතු කිරීමයි. ජාතික පාරිසරික පනත යටතේ නියමිත විධිමත් පාරිසරික බලපෑම් ඇගයීම් (Environmental Impact Assessment - EIA) වාර්තා ලබාගැනීමේ ක්රියාවලිය මඟහැරීම, EIA වාර්තාවල අඩංගු දැඩි කොන්දේසි නොසලකා හරිමින් මෙම ගවේෂණ බලපත්ර මහා පරිමාණ වාණිජ කැණීම් බලපත්ර (Industrial Mining Licenses - IML) බවට පරිවර්තනය කරගැනීමට කටයුතු කිරීමයි.
සජීව චාමිකර මහතා වැඩිදුරටත් අවධාරණය කරන්නේ, වෙරළාශ්රිත කලාපයක කැණීම් කිරීමට පෙර 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනත යටතේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සෘජු අනුමැතිය සහ විධිමත් පාරිසරික අධ්යයනයක් තිබිය යුතු බවයි. එහෙත්, මෙම සමාගම් බොහොමයක් වෙරළබඩ පරිසරයේ සංවේදීබව, භූගත ජල මූලාශ්රවලට සිදුවන බලපෑම සහ මිනිස් ජීවනෝපායන්ට සිදුවන අලාභය සඟවමින් අනුමැතීන් ලබාගැනීමට උත්සාහ කරයි.
එබැවින්, ඕනෑම වාණිජ ඛනිජ කැණීම් ව්යාපෘතියක් ආරම්භ කිරීමට ප්රථම:
· ස්වාධීන විශේෂඥ කණ්ඩායමක් මගින් සිදු කරන ලද විධිමත් පාරිසරික (EIA), ජල විද්යාත්මක (Hydrological) සහ සමාජ-ආර්ථික බලපෑම් ඇගයීම් (Socio-Economic Assessment) වාර්තා සම්පූර්ණ කිරීම,
· එම වාර්තා විනිවිදභාවයකින් යුතුව මහජන අදහස් විමසීමේ ක්රියාවලිය (Public Participation Process) සඳහා මහජනතාවට සම්පූර්ණයෙන්ම විවෘත කිරීම,
· ජනතාවගේ සහ පරිසරයේ ආරක්ෂාව තහවුරු වන තෙක්, කිසිදු ගවේෂණ බලපත්රයක් මහා පරිමාණ කැණීම් බලපත්රයක් බවට පරිවර්තනය නොකිරීම, අත්යවශ්ය නීතිමය හා සමාජීය වගකීමකි.
4. ඛනිජ වැලි ලබාගන්නා ආකාරය සහ කර්මාන්තශාලා ක්රියාවලිය
ඛනිජ වැලි නිස්සාරණ ව්යාපෘති ක්රියාත්මක කිරීමේදී ප්රධාන වශයෙන් ක්රමවේද දෙකක් භාවිත කරනු ලබයි. පළමුවැන්න වන්නේ විවෘත හෝ මතුපිට කැණීම් ක්රමයයි (Open-Cast Mining). මෙහිදී වෙරළ තීරයේ හෝ ඒ ආසන්නයේ ඇති වැලි සහ පස් ස්ථර විශාල යන්ත්රෝපකරණ යොදාගනිමින් සම්පූර්ණයෙන්ම හාරා ඉවත් කරනු ලබයි. මෙම ක්රියාවලිය නිසා වෙරළ පද්ධතිය ආරක්ෂා කරන ස්වාභාවික වැලි කඳු (Sand Dunes) සහ වෙරළබඩ ශාක පද්ධතීන් අතිශය දැඩි ලෙස විනාශ වන අතර, යන්ත්රෝපකරණ ක්රියාත්මක වීම නිසා අධික ශබ්ද හා දූවිලි දූෂණයක් පරිසරයට එක්වේ.
දෙවන ක්රමවේදය වන්නේ ඩ්රෙජිං ක්රමයයි (Dredging). ජලජ හෝ වගුරු සහිත පරිසරයන්හි විශේෂිත ඩ්රෙජර් යන්ත්ර යොදාගනිමින් ජලය සමග මුසු වූ වැලි තොග පිටින් උරාගැනීම මෙහිදී සිදුවේ. මෙලෙස සිදුකරන ඩ්රෙජිං ක්රියාවලිය කලපු, කඩොලාන සහ වගුරු බිම් පද්ධතිවල ඇති මත්ස්යයන් බිත්තර දමන ස්ථාන සහ කුඩා ජලජ ජීවීන්ගේ පැවැත්මට මාරාන්තික තර්ජනයක් එල්ල කරයි.
මීට පසුව, කර්මාන්තශාලා ක්රියාවලියේදී පරිසරයට එල්ල වන බරපතලම හා නොපෙනෙන තර්ජනය වන්නේ අධික ලෙස භූගත ජලය (Groundwater) ලබාගැනීමයි. Wet Plant තුළ සිදුවන වැලි සේදීමේ සහ ඛනිජ වෙන්කිරීමේ ක්රියාවලිය සඳහා දිනපතා ලීටර් මිලියන ගණනක අතිවිශාල ජල ධාරිතාවක් අවශ්ය වේ. මෙම ව්යාපෘති සඳහා ප්රදේශයේ පවතින භූගත මිරිදිය මූලාශ්ර අධික ලෙස ලබාගැනීමට කටයුතු කිරීම නිසා, පරිසරයේ පවතින ස්වාභාවික භූගත ජල මට්ටම ශීඝ්රයෙන් පහත වැටීම අවට ගම්මානවල සිටින ජනතාවගේ ජීවනෝපායන් සහ පානීය ජල අවශ්යතාවයන් සඳහා ඇතිවන්නේ දැඩි අවදානම් සහගත තත්ත්වයකි.
5. පාරිසරික, සමාජීය සහ සෞඛ්ය අර්බුදය
ඛනිජ වැලි නිස්සාරණ ව්යාපෘති හේතුවෙන් සිදුවන පාරිසරික විනාශය හුදෙක් භූමියට පමණක් සීමා නොවී, ප්රදේශයේ සමාජ-ආර්ථික පද්ධතියට මෙන්ම ප්රජාවගේ සෞඛ්යයටද දැඩි බලපෑමක් එල්ල කරයි. මෙම ව්යාපෘති හරහා නිර්මාණය වන සමස්ත පාරිසරික, සමාජීය සහ සෞඛ්යමය අර්බුදය ප්රධාන අංශ කිහිපයක් ඔස්සේ හඳුනාගත හැක:
(අ) කලපු, කඩොලාන සහ ධීවර ජීවනෝපාය විනාශ වීම.
වෙරළාශ්රිතව පිහිටි කඩොලාන පරිසර පද්ධති යනු මත්ස්යයන් ඇතුළු ජලජ ජීවීන්ගේ පැවැත්මට අත්යවශ්ය ස්වාභාවික අභිජනන මධ්යස්ථාන ලෙස ක්රියාකරන කලාපයන් ය. ඛනිජ වැලි කැණීම් නිසා මෙකී සංවේදී කඩොලාන සහ කලපු පද්ධති විනාශ වීමත් සමඟ මත්ස්යයන්ගේ බිත්තර දැමීමේ ස්වාභාවික පරිසරය සම්පූර්ණයෙන්ම විනාශ වී යයි. මෙහි සෘජු ප්රතිඵලයක් ලෙස නොගැඹුරු මුහුදේ මෙන්ම කලපු ආශ්රිත මත්ස්ය අස්වැන්න ශීඝ්රයෙන් පහත වැටෙන අතර, එමගින් සුළු පන්න සහ කුඩා බෝට්ටු හිමි ප්රදේශයේ අසරණ ධීවර ජනතාවගේ දෛනික ආදායම සම්පූර්ණයෙන්ම අහිමි වී ඔවුන්ගේ සාම්ප්රදායික ජීවනෝපාය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන තත්ත්වයට පත් වේ.
(ආ) ජල මූලාශ්ර විනාශ වීම සහ කරදිය මිශ්ර වීමේ අවදානම.
වෙරළ තීරයේ පිහිටා ඇති ඝන වැලි ස්ථර යනු ස්වාභාවිකව මිරිදිය ජලය රඳවා ගන්නා සහ කරදිය සහ මිරිදිය ජලය එක්වීම වළක්වන ස්වභාවික පවුරක් ලෙස ආරක්ෂාව සපයන කලාපයකි. එහෙත් ඛනිජ නිස්සාරණය සඳහා එම වැලි ස්ථර හාරා ඉවත් කළ විට, මෙම ස්වාභාවික මිරිදිය ආරක්ෂක පවුර බිඳ වැටේ. එහි ප්රතිඵලයක් ලෙස මුහුදු ජලය සහ ගොඩබිම් ජලය එකට මිශ්ර වීම සිදු වේ. එවිට ප්රදේශයේ පානීය ළිං සහ කෘෂිකාර්මික වගාබිම් ලවණ අධික තත්ත්වයට පත්වී පසුකාලීනව දැඩි ජල හා ආහාර අර්බුදයක් නිර්මාණය වේ.
(ඇ) වෙරළ ඛාදනය සහ සෞඛ්ය ගැටලු
වෙරළ තීරයේ පිහිටි ස්වාභාවික වැලි වැටි යනු මුහුදු රළ පහරින් ගොඩබිම ආරක්ෂා කරන ප්රධානතම ස්වාභාවික ආරක්ෂක යන්ත්රණයයි. කැණීම් මගින් මෙම වැලි වැටි අහිමි වීමත් සමඟ වෙරළ ඛාදනය දැඩි ලෙස වේගවත් වී, ගොඩබිම මුහුදට බිලිවීමේ දැඩි තර්ජනයක් මතුවේ. මීට අමතරව, ඛනිජ වැලි පිරිසැකසුම් කරන කර්මාන්තශාලා ක්රියාවලිය සහ විශාල යන්ත්රෝපකරණ මගින් වැලි ප්රවාහනය කිරීම නිසා ප්රදේශය පුරා අධික ලෙස දූවිලි පැතිරී යයි. මෙම දූවිලි ආශ්වාස කිරීමෙන් ප්රදේශවාසීන්ට සහ විශේෂයෙන් කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට නොයෙකුත් ශ්වසන අබාධ සහ දීර්ඝකාලීන සෞඛ්ය ගැටලු වැළඳීමේ අවදානමක්ද මතුවේ.
(ඈ) “නැවත වැලි පිරවීමේ” මිථ්යාව
ඛනිජ වැලි ව්යාපෘති ක්රියාත්මක කරන සමාගම් විසින් ඛනිජ ඉවත් කළ පසු ඉතිරි වන ක්වාට්ස් වැලි නැවත කැණීම් සිදු කළ භූමියේ ඇති වළවල්වලට පුරවා පරිසරය යථා තත්ත්වයට පත් කරන බව පැවසුවද, එය හුදෙක් ප්රායෝගික නොවන මිථ්යාවකි. මන්ද යත්, ඛනිජ ඉවත් කරන ලද මෙම වැලි ඉතා සැහැල්ලු බැවින් ස්වාභාවික මුහුදු රළ පහරට සහ ප්රබල සුළඟට ඉතා ඉක්මනින් සේදී හා ගසාගෙන යයි. එසේම මෙම වැලි ස්ථර ලෙස ස්වභාවිකව තැන්පත් වීම සිදු වූයේ වසර ගණනාවක ප්රතිඵලයක් ලෙසයි. එම නිසා මෙම නැවත වැලි පිරවීමේ ක්රමය මගින් විනාශ වූ ස්වාභාවික වෙරළ පරිසර පද්ධතිය හෝ වැලි වැටි නැවත පූර්ව තත්ත්වයට පත්කළ නොහැක.
6. ආර්ථික යථාර්ථය සහ ප්රායෝගික සීමා
වැඩසටහන අතරතුර සමාජ ක්රියාකාරිකයෙකු නැගූ “පරිසරයට සිදුවන හානිය අවම කරමින් තිරසාර විදියට මේ ඛනිජ ද්රව්ය ලබාගෙන ආර්ථිකය ශක්තිමත් කළ නොහැකිද?” යන ප්රශ්නයට පිළිතුරු දෙමින් පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දුන්නේ:
“ඇත්තටම පුල්මුඩේ ඛනිජ නිස්සාරණය යම්තාක් දුරට සිදු වුණේ මේ විදියට තමයි. මේ ක්රියාවලිය යම් විදියකට වේගවත් කිරීමට හෝ වැඩි කිරීමට හෝ ගියොත් සමස්ත ක්රියාවලියම යම් විදියකට අසාර්ථක වෙන්න පුළුවන්. හේතුව ඕනෑම ඛනිජයක් හෝ වටිනා ද්රව්යයක් දුර්ලභ වන ප්රමාණයට තමයි එහි වටිනාකම තීරණය වෙන්නේ. මේවා වැඩිපුර කැණීම් කරලා වැඩියෙන් අපනයනය කළොත් වෙන්නෙ මේ ඛනිජ වර්ග සුලභ වෙලා ඒවාගේ වටිනාකම අඩුවෙන එක. ලංකාවෙ මැණික් වලට යම් විදියකට සිදු වුණේ එහෙම දෙයක්.”
සජීව චාමිකර මහතා පෙන්වා දෙන පරිදි, ශ්රී ලංකාවේ මැණික් කර්මාන්තයට සිදු වූයේ මෙවන් සංසිද්ධියකි. මැණික් අධික ලෙස සහ වේගයෙන් නිස්සාරණය කර වෙළඳපොළට මුදා හැරීම නිසා ශ්රී ලංකාවේ මැණික්වලට තිබූ අද්විතීය වටිනාකම සහ අධික මිල යම් තාක් දුරට අඩුවිය. ඛනිජ වැලි සඳහාද මෙම පදනම අදාළ වේ. ඛනිජ වැලි වේගයෙන් කැණීම් කර අමුද්රව්ය ලෙසම විකුණා දැමීමෙන් කෙටි කාලීනව යම් විදේශ විනිමය ප්රමාණයක් ලබාගත හැකි වුවද, දිගුකාලීනව සිදු වන්නේ ශ්රී ලංකාව සතු සුවිශේෂී ඛනිජ සම්පතේ සමස්ත ජාත්යන්තර වටිනාකම අප විසින්ම අඩුකර ගැනීමයි.
එසේම ඛනිජ වැලිවලට අගය එකතු කර නිෂ්පාදන කිරීම පිළිබඳව සාකච්ඡාව අතරතුර මතු වූ අදහසක් මුල් කරගෙන සජීව චාමිකර මහතා මෙසේ පැහැදිලි කළේය:
“ලොව බොහෝ රටවල් ඛනිජවලට අගය එකතු කිරීමක් නොකර අපනයනය කිරීම සිදු කරනවා. එයට හේතුව වන්නේ අගය එකතු කිරීමේ ක්රියාවලිය සඳහා අධික ලෙස රසායනික ක්රියාවලියකට ලක් කළ යුතු වීමත් ඒ කර්මාන්තශාලා විශේෂ ආරක්ෂිත තත්ත්ව යටතේ ජනශූන්ය කලාපවල ක්රියාත්මක වීමත් ඒ සඳහා අධික වියදමක් සහ කාලයක් වැය වීමත් යන හේතූ බලපානවා. ප්රධාන වශයෙන් මෙලෙස අගය එකතු කර නිෂ්පාදන කරන්නේ ඕස්ට්රේලියාව සහ දකුණු අප්රිකාව වැනි විශාල රටවල් වන අතර එම රටවල භූමියේ ජනගහනයද අඩු වශයෙන් පැවතීම මෙම ක්රියාවලිය සඳහා යම් පහසුවක් වෙලා තියෙනවා. ඒ වගේම ඒ රටවල ඒ කැණීම් කරපු භුමිය අද වෙනකන් යථා තත්ත්වයට පත් වීමක් සිද්ධ වෙලා නෑ”
ඉහත ප්රකාශය තුළ, සජීව චාමිකර මහතා පෙන්වා දෙන පරිදි, ඕස්ට්රේලියාව හෝ දකුණු අප්රිකාව වැනි විශාල භූමි ප්රමාණයක් සහ අඩු ජන ඝනත්වයක් ඇති රටවල භාවිත වන මෙම ආකෘති, ශ්රී ලංකාව වැනි කුඩා, දැඩි පාරිසරික සංවේදීතාවක් සහිත සහ අධික ජනගහන ඝනත්වයක් ඇති රටකට සෘජුව ආදේශ කළ නොහැක. අප රටේ වෙරළාශ්රිත කලාපයන් දක්වාම ජනගහනය ව්යාප්ත වී ඇති අතර, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි මිනිසා විසින් තම ජීවනෝපාය සඳහා සිදු කරගෙන යනු ලබන ජීවනෝපාය පද්ධති පවතින්නේ වෙරළබඩ කලාපය තෙක්ම ව්යාප්තවය. මෙවැනි පරිසරයක අධික ලෙස රසායනික ද්රව්ය භාවිත වන අගය එකතු කිරීමේ කර්මාන්තශාලා ස්ථාපිත කිරීම යනු, ප්රදේශයේ භූගත ජලයට, පසට සහ ජන ජීවිතයට දැඩි පාරිසරික සහ සෞඛ්යමය තර්ජනයක් ළඟා කරදීමකි.
7. ජනතාවගේ අයිතිය සහ ඉදිරි තීරණ සඳහා නැගිය යුතු ප්රශ්න
මෙරට වෙරළබඩ කලාපයේ වෙසෙන ජනතාව යනු, පරම්පරා ගණනාවක් තිස්සේ එම පරිසර පද්ධතිය මත යැපෙමින් එය සුරක්ෂිත කිරීම සඳහා දායක වූ පාර්ශ්වකරුවන්ය. එසේම රටේ සංවර්ධනයට, ආහාර නිෂ්පාදන ක්රියාවලියට, ජාතික ආර්ථිකයට තම දහඩිය මහන්සිය කැප කළ මිනිසුන්ය. එබැවින්, තමන් ජීවත් වන භූමියේ සිදුකෙරෙන ඕනෑම මහා පරිමාණ සංවර්ධන හෝ නිස්සාරණ ව්යාපෘතියක් පිළිබඳව සහ ඉන් තම පරිසරයට එල්ල වන බලපෑම පිළිබඳව සම්පූර්ණ තොරතුරු දැනගැනීමේ මූලික අයිතියක් (Right to Information) ඔවුන් සතුව ඇත. එනම්, තමන් ජීවත් වන ප්රදේශයේ භූගත ජල මට්ටම්වල වෙනස්වීම්, මත්ස්යයින් බෝවන ස්ථානවලට සිදුවන හානිය, භාවිත වන තාක්ෂණික ක්රමවේද සහ අදාළ සමාගම් වෙත ලබාදී ඇති කැණීම් බලපත්රවල කොන්දේසි පිළිබඳව පූර්ණ විනිවිදභාවයකින් යුතුව ජනතාවට පැහැදිලි වන ආකාරයෙන් තොරතුරු ලබා දිය යුතුය.
එසේම, ඕනෑම ඛනිජ නිස්සාරණ ව්යාපෘතියකට පූර්ව අනුමැතිය ලබාදීමට ප්රථම, යෝජිත ව්යාපෘතිය සම්බන්ධයෙන් පහත සඳහන් තීරණාත්මක ප්රශ්න කෙරෙහි රාජ්ය බලධාරීන්, විශේෂඥයන් සහ ප්රජාව දැඩි අවධානය යොමු කළ යුතුය:
· කැණීම් සිදුකරන භූමිය වෙරළ කලාපයට සහ භූගත ජල මූලාශ්රවලට කෙසේ බලපාන්නේද?
· කලපු, කඩොලාන සහ මත්ස්ය අභිජනන කලාප ආරක්ෂා කිරීමට විධිමත් සැලැස්මක් තිබේද?
· රසායනික අපද්රව්ය පරිසරයට හානි නොවන සේ කළමනාකරණය කරන්නේ කෙසේද?
· කැණීම් නිසා ධීවරයන්ට හා ගොවීන්ට සිදුවන අලාභ සහ ආදායම් පාඩු වීම් සඳහා වන්දි ගෙවීමේ ක්රමයක් තිබේද?
· ව්යාපෘතියෙන් ලැබෙන ලාභයට සාපේක්ෂව අත්වන දිගුකාලීන පාරිසරික හා සමාජීය හානිය කොපමණද?
· ව්යාපෘතිය සම්බන්ධ තීරණ ගැනීමේදී ප්රදේශවාසීන්ගේ අදහස් හා විරෝධතාවයන් සැබවින්ම සලකා බලා තිබේද?
ශ්රී ලංකාවේ වෙරළබඩ කලාපය ආවරණය වන ස්වාභාවික වැලි ස්ථරය යනු හුදෙක් මුදලට අලෙවි කළ හැකි ඛනිජ සම්පත් එකතුවක් නොවේ. එය මුළු දිවයිනම වටා ඇති ආරක්ෂිත පද්ධතියයි. එය භූගත මිරිදිය ජල මූලාශ්ර සුරකින ස්වාභාවික ‘ජල ගබඩාවකි’, වෙරළ ඛාදනය වළක්වන ආරක්ෂිත පවුරකි, මත්ස්යයන්ගේ අභිජනන මධ්යස්ථානයකි, එපමණක් නොව ධීවර, කෘෂිකාර්මික හා සංචාරක ප්රජාවගේ පැවැත්ම තීරණය කරන ප්රධාන ජීවනාලියයි.
කෙටිකාලීන ආර්ථික අර්බුද හමුවේ ඛනිජ සම්පත් අක්රමවත් ලෙස ලබාගෙන විදේශයන්ට විකුණා දැමීම ආකර්ෂණීය ‘සංවර්ධන විසඳුමක්’ ලෙස පිටතට පෙනී යා හැක. එහෙත්, එමගින් රටට අහිමි වන පානීය ජලය, දේශීය ආහාර සුරක්ෂිතතාව, ප්රජාවගේ සෞඛ්ය සම්පන්න බව සහ ස්වාභාවික වෙරළ ආරක්ෂාව නැවත මුදලට මිලදී ගැනීමට සිදු වේ නම්, එය කිසිසේත්ම රටට ලාභදායී හෝ බුද්ධිමත් සංවර්ධන මාර්ගයක් නොවේ. කෙටි කාලීනව උපයා ගන්නා ඩොලර් ප්රමාණයට වඩා එමඟින් අතිවිශාල පාරිසරික සහ සමාජීය විනාශයකට වන්දියක් ගෙවීමට අනාගත පරම්පරාවට සිදු වනු ඇත.
ඒ අනුව, අවසානයේ අප හමුවේ ඉතිරිවන බරපතළ ප්රශ්නය මෙයයි:
වෙරළෙන් ඉවත් කරන ඛනිජවලට අපි මිලක් නියම කළෙමු. එහෙත් එමගින් අහිමි විය හැකි ජලයට, මසුන්ට, වෙරළට සහ මිනිස් ජීවිතවලට අපි මිලක් නියම කර තිබේද?