
මන්නාරම අවදානමක: සංවර්ධනයද? පිටමං කිරිමද ?
Published
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ විශාලතම දූපත වන මන්නාරම දූපත පාරිසරික සාරවත්භාවයෙන් මෙන්ම දැඩි මිනිස් අරගල වලින් ද පිරුණු ස්ථානයක් වේ. ආසන්න වශයෙන් 75,000 ක පමණ ජනතාවක් ජීවත් වන මෙම දූපතේ ධීවර හා ගොවි ප්‍රජාවන් දශක කිහිපයක් පුරා පැවති යුද්ධය, අවතැන්වීම් සහ දරිද්‍රතාවය නොතකා පරම්පරා ගණනාවක් තිස්සේ මෙහි ජීවිතය පවත්වා ගෙන ගොස් ඇත. කෙසේ වෙතත්, අද වන විට මෙම ප්‍රජාවන් අලුතින් නිර්මාණය වූ තර්ජනවලට මුහුණ දී සිටින අතර, මෙවර එම තර්ජන නිර්මාණය වී ඇත්තේ “සංවර්ධනය” නාමයෙනි.
විශේෂයෙන් ම ව්‍යාපෘති දෙකකට එරෙහි ප්රතිරෝධයන් ඒවායෙහි උච්ඡතම තත්ත්වයට පත්ව ඇත: මහා පරිමාණ සුළං බලශක්ති ව්‍යාපෘති පුළුල් කිරීම සහ ඛනිජ වැලි කැනීම එම ව්‍යාපෘති දෙක වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය සහ බලශක්ති ආරක්ෂාව සඳහා අතිශය වැදගත් වන ව්‍යාපෘති ලෙස මෙම ව්‍යාපෘති දෙක ම ප්‍රවර්ධනය කරන නමුත්, ඒවා මන්නාරමේ අඛණ්ඩ විරෝධතාවලට හේතු වී තිබේ. මෙම ප්‍රදේශයේ පදිංචිකරුවන් දකින ආකාරයට, මෙම ව්‍යාපෘති සංවර්ධනයේ සංකේත නොව, නිසි අදහස් විමසීකින් හෝ ආරක්ෂාවන්ගෙන් තොරව සැලසුම් කළ විට සංවර්ධනය විසින් ජීවනෝපායන් විනාශ කළ හැකි ආකාරය, පවුල් අවතැන් කළ හැකි ආකාරය සහ සියුමැලි පරිසර පද්ධතිවලට ස්ථිරව ම හානි කළ හැකි ආකාරය සිහිපත් කරවන දේ වේ.
භූගෝලීය වශයෙන් ගත් කල, මන්නාරම යනු ශ්‍රී ලංකාවේ වඩාත් ම අවදානමට ලක්විය හැකි කලාප වලින් එකක් වේ. සිවිල් යුද්ධය පැවති කාලයේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව ද යුද්ධයෙන් පීඩාවට පත් වූහ. විශේෂයෙන් ම, මෙම ප්‍රදේශයේ ජනතාව වෙනත් ප්‍රදේශ වලට හෝ විදේශයන්ට සංක්‍රමණය වීම විශාල වශයෙන් සිදුවිය. එසේම, පශ්චාත් යුධ සමයේ දී නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ නමුත් බොහෝ ප්‍රදේශවල තවමත් එය සම්පූර්ණ කර නැත.
මන්නාරම දූපතෙන් වැඩි කොටසක් මුහුදු මට්ටමට සමාන හෝ එයට පහළ මට්ටමක පිහිටා ඇති බැවින් එම දූපත පාරිසරික බාධාවන්ට විශේෂයෙන් සංවේදී වේ. එය ජාත්‍යන්තරව හඳුනාගෙන ඇති, ජෛව විවිධත්වය දැඩි ලෙස තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශයක කොටසක් වන අතර, සංක්‍රමණික පක්ෂීන් සහ සමුද්‍ර සම්පත් සඳහා ද ප්‍රසිද්ධියක් උසුලන මෙම දූපත, පරම්පරා ගණනාවක ජනතාව එහි භූමියට සහ මුහුදට සම්බන්ධ කරන සංස්කෘතික වැදගත්කමක් ද උසුලයි. එහෙත්, මෙම ප්‍රදේශය ආරක්ෂා කරනවා වෙනුවට, එය මිනිසුන්ට වඩා ආර්ථික ලාභයට ප්‍රමුඛත්වය දෙන, ස්වාභාවික සම්පත් නිස්සාරණය කර ගන්නා ව්‍යාපෘති සඳහා පර්යේෂණ භූමියක් බවට පත්කර ඇත.
ධීවරයින්, ගොවීන්, තරුණයින් සහ සිවිල් සමාජය විසින් මෙහෙයවනු ලබන, වර්තමානයේ සිදු කෙරෙමින් පවතින විරෝධතා සංවර්ධනයට ම එරෙහි විරෝධතා නොවේ, ඒවා ඉඩම්වලට, ජලයට සහ ප්‍රජාවන්ට ගරු කරන සංවර්ධනයක් සඳහා වන ඉල්ලීමකි. පුනර්ජනනීය බලශක්තිය සහ ආර්ථික වර්ධනය ජනතාව අවතැන් වීම, පාරිසරික විනාශය සහ ප්‍රජා අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීම යන හානි ඇතිකරමින් සිදු කොකළ යුතු බව මන්නාරමේ ජනතාව අවධාරණය කරති. ඔවුන්ගේ අරගලය ශ්‍රී ලංකාව මුහුණ දිය යුතු ඉතා පුළුල් ප්‍රශ්නයක් පිළිබිඹු කරයි: අපට අවශ්‍ය කරන්නේ කුමන ආකාරයේ සංවර්ධනයක්ද, සහ එය සැබවින්ම කා සඳහාද?
පසුබිම: මන්නාරමේ තිබෙන සියුමැලි භූ දර්ශනය
උතුරු පළාතේ පිහිටා ඇති මන්නාරම දූපත මන්නාරම් බොක්කෙහි නොගැඹුරු ජලය හරහා පිහිටි මුහුදු මාර්ගයක් මගින් ප්‍රධාන භූමියට සම්බන්ධ වී තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම දූපත වන මෙහි දිග කිලෝමීටර් 26 ක් සහ පළල කිලෝමීටර් 6 ක් පමණ වේ. එහෙත්, එතරම්ි විශාල වුවත්, මන්නාරම දූපත සුවිශේෂී ලෙස අවදානමට ලක්විය හැකි ය: දූපතේ සාමාන්‍ය උන්නතාංශය මුහුදු මට්ටමේ සිට මීටර් 7.8 ක් පමණක් වුවත්, සවුත් බාර්, තෝට්ටවේලි, එරුකලම්පිඩ්ඩි සහ කොන්නෛයන් කුඩියිරුප්පු වැනි ප්‍රදේශ කිහිපයක් මුහුදු මට්ටමට සමාන හෝ එයට පහළ මට්ටමකින් පිහිටා ඇත. භූගෝලීය පිහිටීම මෙලෙස දුර්වල තත්ත්වයක තිබීමෙන් අදහස් කරන්නේ, මහා පරිමාණ කැනීම් ව්‍යාපෘති පසෙක තැබූවත්, කුඩා පරිමාණයේ පාරිසරික බාධාවකින් පවා ගංවතුර, මුහුදු ජලය ගොඩබිමට පැමිණීම සහ භූමි හායනය පිළිබඳ බරපතල අවදානම් ඇති කරන බව ය.
මන්නාරමේ පාරිසරික වශයෙන් ඇති වටිනාකම ද ඒ හා සමානව වැදගත් වේ. මෙම දූපත කෝවේරි ද්‍රෝණිය තුළ පිහිටා තිබෙන අතර, එය ජාත්‍යන්තරව හඳුනාගත් ජෛව විවිධත්වය දැඩි ලෙස අවදානමට ලක්ව ඇති ස්ථානයක කොටසකි. එහි වෙරළබඩ ජල තීරය, කලපු සහ කඩොලාන තීර සමුද්‍රීය ජීවීන්ට උපකාරී වන අතරම ඛාදනයෙන් සහ කුණාටු වලින් ජනතාව ආරක්ෂා කරයි. එමෙන්ම, මන්නාරම සෑම වසරක ම මහාද්වීප හරහා ගමන් කරමින් පැමිණෙන සංචාරක පක්ෂීන් රංචුවලට සත්කාරකත්වය සපයන, සංක්‍රමණික පක්ෂීන්ගේ අභයභූමියක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ ය. මෙම ස්වාභාවික වත්කම් විද්‍යාත්මක වශයෙන් වැදගත් වනවා පමණක් නොව, ඒවා ප්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායන්හි සහ සංස්කෘතික අනන්‍යතාවයේ පදනම ද වේ. පවුල් දස දහස් ගණනකට ජීවනෝපායන් පපයා දෙන මසුන් ඇල්ලීම, කුඩා පරිමාණ ගොවිතැන සහ පොල් සහ තල් වගාව මෙම ප්‍රදේශයේ ආර්ථිකයේ ජීවනාළිය ලෙස පවතියි.
කෙසේ වෙතත්, මන්නාරමේ ජනතාව දුෂ්කර අතීතයක සිදුවූ අමිහිරි සිදුවීම් වලින් තවමත් පීඩා විඳිමින් සිටිති. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති දශක ගණනාව පුරා මෙම දූපත දැඩි ලෙස හමුදාකරණය වූ කලාපයක් වූ අතර, එහි පදිංචිකරුවන් අවතැන්වීම්, දේපළ විනාශ කරනු ලැබීම සහ තමන්ගේ ම භූමියට සහ මුහුදට ප්‍රවේශ වීම සීමා කරනු ලැබීම විඳ දරා සිටියහ. පවුල් බොහෝ ගණනක් තමන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීම සඳහා ආපසු පැමිණියේ 2009 වර්ෂයෙ න් පසුව ය. නමුත් ඔවුන්ගේ ජීවිත ප්‍රකෘතිමත්වීම ඉතා මන්දගාමී වී ඇති අතර, දරිද්‍රතාවය, විරැකියාව සහ දුර්වල යටිතල පහසුකම් අඛණ්ඩ අභියෝග ලෙස පවතියි. මෙවැනි දුෂ්කරතා පවතින පසුබිමක් තුළ, “සංවර්ධනය” පිළිබඳ පොරොන්දුව බොහෝ විට දිවියොතක් ලෙස ඉදිරිපත් කරනු ලැබේ. එහෙත්, මන්නාරමේ පදිංචිකරුවන්ට මෙම පොරොන්දු සීඝ්රයෙන් තර්ජන බවට පත්වෙමින් තිබේ.
මහා පරිමාණ සුළං බල ව්‍යාපෘති සහ ඛනිජ වැලි කැණීම් මේ වන විට මෙම දූපත නැවත හැඩගස්වමින් තිබෙන නමුත් ඒවා සිදු කරමින් තිබෙන්නේ එහි ජනතාවගේ ස්වාධීන, පූර්ව සහ දැනුවත්භාවයෙන් යුතු කැමැත්ත ලබා ගෙන නොවේ. ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන, ඇළ දොළ අවහිර කර, ධීවර බිම් කඩාබිඳ දමා ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රජාවන් නැවත වරක් අවතැන් වීමට මුහුණ දී ඇත; මෙවර ඔවුන් අවතැන්වී ඇත්තේ යුද්ධය හේතුවෙනන් නොව, සංවර්ධනයේ නාමයෙන් ප්‍රවර්ධනය කරනු ලබන ව්‍යාපෘති හේතුවෙනි. මන්නාරමේ ජනතාවට ඇති ප්රශ්නය වන්නේ සංවර්ධනය සිදුවිය යුතුද යන්න නොව, එය ඔවුන්ගේ සියුමැලි දූපත සහ එහි ජනතාවගේ ගෞරවය ආරක්ෂා කරන ආකාරයෙන් සිදුකළ නොහැකිද යන්නයි.
වැලි කැණීම: දූපතේ පැවැත්මට දැඩි තර්ජනයක්
මන්නාරමේ වෙරළ තීරයේ ඇති වැලි සහිත පොළොව යට ඉල්මනයිට්, රූටයිල්, ගාර්නට්, සර්කොන් සහ සිලිමනයිට් ඇතුළු ඉතා වටිනා ඛනිජ වැලි විශාල නිධි පිහිටා ඇත. පිඟන් මැටි කර්මාන්තවල සිට ගුවන් සේවා කර්මාන්ත දක්වා වූ විවිධ කර්මාන්තවල ගෝලීය වශයෙන් භාවිතා වන මෙම ඛනිජ වර්ග කෙරෙහි රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික සමාගම්වල ද අවධානය යොමුවී ඇත. මහා පරිමාණයෙන් මෙම සම්පත් කැණිම් කිරීම සඳහා වන යෝජනා විදේශ ආයෝජන සහ අපනයන ආදායම උපයා ගැනීමේ අවස්ථා වන නමුත්, මන්නාරමේ ජනතාවට නම් මෙම වැලි කැණීම් එවැනි අවස්ථාවක් නොව, ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් එල්ල කරන්නක් වේ.
යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වී. ප්‍රදීපරාජා පවසන ආකාරයට, මන්නාරමේ භූ විද්‍යාත්මක වශයෙන් පවතින අවදානම් සහගත භාවය නිසා එවැනි කැණීම් සිදු කිරීම විශේෂයෙන් ම අනතුරුදායක වේ. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ, ස්ථාවර උස් භූමියක ඛනිජ වැලි නිධිය පිහිටා ඇති පුල්මුඩේ මෙන් නොව, මන්නාරම අතිශය පහත් භූමි ප්‍රදේශයක පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ කැණීම කිරීම සඳහා මීටර් 12 ක් පමණ ගැඹුරට හෑරීම් සිදු කර, දැනටමත් දුර්වල තත්ත්වයක පවතින ප්‍රදේශවලට විශාල වැලි ප්‍රමාණයක් බැහැර කළ යුතු ව තිබේ. මෙම ක්‍රියාවලිය නිසා පසෙහි ව්‍යුහය අස්ථාවර වීම, පොළොව ගිලා බැසීමට ලක්වීම වැඩි වීම සහ පොල් සහ තල් වැනි වෙරළබඩ වෘක්ෂලතාදිය විනාශ වීම වැනි අවදානම් ඇති වේ.
එවැනි බාධාවක ප්‍රතිවිපාක කැණීම් ස්ථානවලට ආසන්න වටපිටාවෙන් ඔබ්බට විහිදී යයි. ආචාර්ය ප්‍රදීපරාජා සඳහන් කරන ආකාරයට, කැණීම් හේතුවෙන් මිරිදිය ජලධරයන්ට මුහුදු ජලය මිශ්‍රවී මිරිදිය ජලධරයන් දූෂණය විය හැකි අතර, පවුල් දහස් ගණනකගේ පානීය ජලය අනාරක්ෂිත විය හැකි ය. මුහුදු ජලය ගොඩබිමට ඇතුළු වීම ඉහළ යාම ගොවිබිම් වලට ද හානි කර වන අතර, එය දූපතේ දැනටමත් සීමිතව තිබෙන කෘෂිකාර්මික පදනම තවත් අඩු කරයි. කෙටියෙන් පවසතොත්, ඛනිජ වැලි කැණීම් සිදු කිරීම මන්නාරමේ මේ වන විටත් ඇතිවී තිබෙන දේශගුණික හා පාරිසරික අවදානම් තවත් වේගවත් කරන බවට තර්ජන එල්ල කරයි.
ප්‍රජා ක්රියාකාරිකයන් ද ඒ හා සමානව කනස්සල්ල පළ කර ඇත. උතුරු ප්‍රදේශයේ සිටින පරිසරවේදියෙක් වන ඒ. රකුලන් පුල්මුඩේ ප්‍රදේශයෙන් උගත හැකි පාඩම් කෙරෙහි අවධානය යොමු කරයි: එම ප්‍රදේශයේ ඛනිජ කැණීම් දශක ගණනාවක් තිස්සේ සිදුවෙමින් පැවතිය ද, ප්‍රාදේශීය ප්‍රජාවට එයින් ලැබෙන ප්රතිලාභ අල්ප වී ඇති අතර, පාරිසරික හායනය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතියි. මන්නාරමේ ඇති විය හැකි බලපෑම් එයටත් වඩා අහිතකර වනු ඇතැයි ඔහු අනතුරු අඟවයි:
“පුල්මුඩේ ඉඩම් උස් මට්ටමේ තියෙන්නේ, නමුත් මන්නාරමේ තියෙන්නෙ පහත් බිම්. මෙහි කැණීම් සිදු කළ හොත් දූපත ගිලී යා හැකියි.”
ප්‍රදේශයේ පදිංචිකරුවන්ට තිබෙන්නේ එවැනි තාක්ෂණික ගැටළු නොව, ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ගැටළු ය. කැණීම් සිදු කිරීම මෙම දූපතේ වැසියන්ගේ ජීවිතයේ මූලික ම පදනම වන ඉඩම්, ජලය සහ ජීවනෝපායන්ට තර්ජනය කරයි. දැනටමත් මන්නාරමේ ජනතාව සිවිල් යුද්ධය හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ අවතැන්වීම් සහ පාඩු විඳදරාගෙන ජීවත් වී ඇත. දැන් කැණීම් නිසා තම දූපත අහිමි වී යාමේ හැකියාවට මුහුණ දීම බොහෝ දෙනෙකුට දැනෙන්නේ මෙවර සංවර්ධනයේ කොඩිය යටතේ දෙවන වරටත් ඔවුන්ගේ බුක්තිය අත්පත් කර ගැනීමක් ලෙස ය.

සුළං බල ව්‍යාපෘති: කැමැත්ත ලබා නොගෙන සිදු කරනු ලබන සංවර්ධනය
මන්නාරම දකුණු ආසියාවේ වැඩියෙන් ම සුළං සහිත කලාපයක් වන බැවින් එය පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා ඉතා ආකර්ශනීය ප්‍රදේශයක් වී තිබේ. මෑත කාලයේ දී, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ පෞද්ගලික ආයෝජකයන් සමග එක්ව මෙම දූපතේ මහා පරිමාණ සුළං බල ව්‍යාපෘති පුළුල් කිරීම ප්‍රවර්ධනය කර ඇත. පොසිල ඉන්ධන මත යැපීම අඩු කිරීම සඳහා සහ රටේ බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා මේවා අත්‍යාවශ ව්‍යාපෘති ලෙස හඳුන්වා දෙනු ලැබේ.
කෙසේ වෙතත්, මන්නාරමේ ප්‍රජාවන්ට මෙම සුළං බලය පොරොන්දු වූ ප්රතිලාභ අත්කර දී නැත. ඒ වෙනුවට, එය ඉඩම් අන්සතු කිරීමේ, පාරිසරික බාධා ඇති කිරීමේ සහ සමාජ ආන්තිකකරණයේ නව රැල්ලක් හඳුන්වා දී ඇත.
අදහස් විමසීම සහ කැමැත්ත ලබාගැනීම සිදු නොකිරීම
බලපෑමට ලක් වූ ප්රජාවන්ගේ ස්වාධීන, පූර්ව සහ දැනුවත්භාවයෙන් යුතු කැමැත්ත ලබාගැනීමකින් තොරව මෙම ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබන බව පදිංචිකරුවෝ නැවත නැවතත් අවධාරණය කරති. තමන්ගේ පොදු ඉඩම් සහ තණබිම් ටර්බයින සවිකිරීම සඳහා සහ ප්‍රවේශ මාර්ග ඉදිකිරීම සඳහා වෙන් කර ඇති බව ඉදිකිරීම් ආරම්භ වන තෙක් ම බොහෝ පවුල් දැන සිටියේ නැත. මෙම ව්‍යාපෘති සෘජුව ම මධ්‍යම රජයේ තීරණ මගින් මෙහෙයවනු ලබන බවටත්, මන්නාරමේ ධීවරයින්, ගොවීන් හෝ පළාත් පාලන ආයතන ඒවාට සම්බන්ධ වීම අල්ප බවටත්, නැත හොත් කිසිදු සම්බන්ධවීමක් නොමැති බවටත් සිවිල් සමාජ කණ්ඩායම් තර්ක කරති.
පාරිසරික හා සමාජීය බලපෑම්
මන්නාරමේ කතෝලික පූජකවරයෙක් සහ දීර්ඝකාලයක් තිස්සේ ප්‍රජා උපදේශකයෙක් ලෙස කටයුතු කරන එම්. මාකස් පියතුමා සඳහන් කරන ආකාරයට, මෙම ප්‍රදේශයේ සුළං බල ව්‍යාපෘති “ප්‍රධාන ගැටළු දහයක්” නිර්මාණය කර ඇති අතර, ඒවාට පහත සඳහන් ගැටළු ඇතුළත් වේ:
■ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග සහ පොදු ඉඩම් විනාශ වීම.
■ ජල මූලාශ්‍ර සහ සාම්ප්‍රදායික වාරිමාර්ග පද්ධති බිඳවැටීම.
■ පක්ෂීන් සංක්‍රමණය වන මාර්ගවලට, විශේෂයෙන් ම “වැදගත් පක්ෂි ප්‍රදේශ” ලෙස ජාත්‍යන්තර වශයෙන් හඳුනාගෙන ඇති ප්‍රදේශවල පක්ෂීන් සංක්‍රමනය වන මාර්ගවලට තර්ජන එල්ලවීම.
■ තෘණ බිම් වලට සහ ධීවර ප්‍රදේශවලට ප්‍රවේශය සීමා වීම.
■ පස සම්පීඩනයවීම සහ ටර්බයින් පිහිටි ස්ථාන අවට ජලාපවහනය දුර්වල වීම හේතුවෙන් ගංවතුර අවදානම වැඩි වීම.
මුහුදු වෙරළ, කලපු සහ තණබිම් වෙත ප්රවේශවීම සීමා කර ඇති බවටත්, එය ඔවුන්ගේ සාම්ප්‍රදායික ජීවනෝපායන් අඩපණ කරන බවටත් ධීවරයෝ සහ ගොවීහු පැමිණිලි කරති. වරක් පොදු අවකාශයන් ලෙස පැවති ඉඩම් දැන් පෞද්ගලික හෝ ප්‍රවේශය සීමා කර ඇති ඉඩම් ලෙස වට කර ඇති අතර, එය ඔවුන් තුළ තමන්ව බැහැර කරන්නේ ය සහ තමන්ට අහිමි කරන්නේ ය යන හැඟීම් ගැඹුරු කරමින් තිබේ.
එප්පාවල සිද්ධියෙන් උගත හැකි පාඩම්
අතීතයේ දී ද ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් සම්බන්ධයෙන් මේ හා සමාන අරගලවලට මුහුණ දී ඇත. එප්පාවල පොස්පේට් නඩුව (බුලංකුලම සහ තවත් අය එදිරි කාර්මික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඤ[2000] 3 SLR 243) එයට සුවිශේෂී උදාහරණයක් වන අතර, එය බොහෝ විට රටේ පාරිසරික හා මානව හිමිකම් සම්බන්ධ නීති මීමංසාවේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස පැසසුමට ලක් වේ.
1990 දශකයේ අගභාගයේ දී, පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන පොස්පේට් කැණීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ එප්පාවල ප්‍රදේශයේ පිහිටි වර්ග කිලෝමීටර් පනස් හයකට (56) ආසන්න ඉඩම් කැණීම සඳහා ව්‍යාපෘතියක් යෝජනා කරන ලදී. විදේශීය සමාගම් සහ රජය සම්බන්ධ වූ මෙම ගනුදෙනුව මගින් ආර්ථික ලාභ අත්කර දීමේ හැකියාව තිබූ නමුත්, එය ගොවි ප්රජාවන්ගේ ජීවනෝපායන්ට, පුරාවිද්‍යාත්මක උරුමයන්ට සහ කලාපයේ පරිසරයට දැඩි අවදානම් එල්ල කළේ ය. සිවිල් සමාජයේ සහාය ඇතිව පදිංචිකරුවන් අධිකරණයේ දී මෙම ව්‍යාපෘතිය අභියෝගට ලක් කළහ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වෙනි ව්‍යවස්ථාව යටතේ දක්වා ඇති ජීවත්වීම සඳහා ඇති අයිතිය යන්නෙන් සෞඛ්‍ය සම්පන්න පරිසරයක් සඳහා ඇති අයිතිය ද ඇඟවෙන බව ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත්තේ ය. වර්තමාන සහ අනාගත පරම්පරාවන්ගේ අයිතිවාසිකම් අනතුරේ හෙළන ආකාරයෙන් ස්වභාවික සම්පත් අධික ලෙස ප්‍රයෝජනයට ගත නොහැකි බව අධිකරණය තීන්දු කළේ ය. සංවර්ධනය විසින් ආර්ථික ප්රතිලාභ සමාජ සාධාරණත්වය, පාරිසරික ආරක්ෂාව සහ බලපෑමට ලක් වූ ප්රජාවන්ගේ සහභාගීත්වය සමග සමබර කළ යුතු බව එය අවධාරණය කළේ ය.
මන්නාරමට ඇති අදාළත්වය
එප්පාවල සිද්ධියේ දී මතු කරන ලද අනතුරු ඇඟවීම් අද මන්නාරමේ දී ප්‍රබල ලෙස ප්රතිරාවය දෙයි. පොස්පේට් කැණීම් මගින් අනුරාධපුරයේ ගොවි පවුල් අවතැන් කිරීමේ තර්ජනය ඇති කළ ආකාරයෙන් ම, ඛනිජ වැලි කැණීම් සහ සුළං බල ව්‍යාපෘති මන්නාරමේ ධීවර හා ගොවි ප්‍රජාවන් ද නෙරපා හැරීමේ තර්ජනය ඇති කරයි. මෙම අවස්ථා දෙකේදී ම, රජයේ සහ පෞද්ගලික අංශයේ ක්‍රියාකාරීන් මෙම ව්‍යාපෘති “සංවර්ධනය” ලෙස හැඳින්වූ නමුත්, ප්‍රදේශවාසීන් තමන්ව බැහැර කරනු ලැබීමට, පාරිසරික හානි වලට සහ තමන්ගේ පාරම්පරික ඉඩම් අහිමි වීමට මුහුණ දුන්හ.
කැපී පෙනෙන සමානකම් කිහිපයක් තිබේ:
■ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව සම්පත් සූරාකෑම: එප්පාවල සහ මන්නාරම යන සිදුවීම් දෙකෙහි දී ම, ප්‍රදේශයේ ප්‍රජාවන් ප්‍රාථමික කොටස්කරුවන් වුවද, අර්ථවත් ලෙස ඔවුන්ගෙන් අදහස් විමසීමක් සිදු නොකරන ලදී.
■ පාරිසර පද්ධතිවල දුර්වල බව: එප්පාවල නඩුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය සියුම් පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේ ය. පහත් බිම් භූමි ප්‍රදේශයක් වන සහ ගෝලීය පාරිසරික වැදගත්කමක් සහිත මන්නාරම සම්බන්ධයෙන් වන විට එයටත් වඩා ප්‍රවේශම් සහගත විය යුතු ය.
■ පරම්පරා අතර යුක්තිය: ස්වාභාවික සම්පත් වර්තමාන පරම්පරාවට පමණක් නොව අනාගත පරම්පරාවන්ට ද අයති බව අධිකරණය අවධාරණය කළේ ය. මන්නාරමේ මහා පරිමාණ වැලි කැණීම් සිදු කිරීම හෝ වැරදි ලෙස සැලසුම් කරන ලද සුළං බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් අනාගත පරම්පරාවන්ට ජීවත් විය නොහැකි දූපතක් ඉතිරි වීමේ අවදානමක් ඇත.
■ සාධාරණය සහිත සංවර්ධනය: සැබෑ සංවර්ධනය මගින් ගෞරවයට, අයිතිවාසිකම්වලට සහ තිරසාරභාවයට ගරු කළ යුතු බව මෙම නඩු තීන්දුව මගින් නැවත තහවුරු කළේ ය. මන්නාරමේ වර්තමාන ගමන් පථය මෙම ප්‍රමිතියෙන් බොහෝ සෙයින් දුරස් වී ඇත.
එප්පාවල නඩුව යනු විනාශකාරී ව්‍යාපෘතිවලට එරෙහි වීමට ශ්‍රී ලංකාවට මේ වන විටත් නීතිමය සහ සදාචාරාත්මක පූර්වාදර්ශයක් තිබෙන බව සිහිපත් කර දීමකි. එප්පාවල පොස්පේට් ආරක්ෂා කළ එම මූලධර්ම ම, එනම්, ලාභයට පෙර මිනිසුන්, පරිසරය සහ අනාගතය ආරක්ෂා කිරීමට ප්‍රමුඛකත්වය දිය ය යන මූලධර්ම මන්නාරමේ තීරණ ගැනීම සඳහා ද මග පෙන්විය යුතු ය.
නිගමනය සහ නිර්දේශ
මන්නාරමේ වර්ධනය වෙමින් පවතින අරගල වැලි කැණීමේ හෝ සුළං බල ව්‍යාපෘති වලට එරෙහි හුදකලා ආරවුල් නොවේ; ඒවායින් ශ්‍රී ලංකාව අනුගමනය කරමින් සිටින්නේ කුමන ආකාරයේ සංවර්ධනයක් ද සහ ඒ කවුරුන් වින්දිතයන් කරමින්ද යන්න පිළිබඳ ගැඹුරු ප්‍රශ්නයක් පිළිබිඹු වෙයි. දශක ගණනාවක් තිස්සේ අවතැන් වීම සහ යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටි මන්නාරමේ ප්‍රජාවන්ට මෙවර රටේ සංවර්ධනයේ නාමයෙන් මෙම ව්‍යාපෘති මගින් ඔවුන්ගේ ඉඩම් අහිමි කිරීමේ චක්‍රය නැවත ඇති කිරීමේ තර්ජනය එල්ල කරයි.
එප්පාවල නඩුව ජනතාවගේ අයිතිවාසිකම්වලට, ජීවනෝපායන්ට සහ පරිසරයට හානි වන ආකාරයෙන් සංවර්ධනය සිදු නොකළ යුතු බව සිහිපත් කර දෙන්නක් ලෙස පවතියි. වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා ද ස්වාභාවික සම්පත් ආරක්ෂා කළ යුතු යැයි ශේෂ්ඨාධිකරණය විසින් පිළිගැනීම අද මන්නාරමට සෘජුව ම අදාළ වෙයි. මන්නාරම දූපත මහා පරිමාණ ඛනිජ කැනීම්වලට සහ දුර්වල ලෙස සැලසුම් කරන ලද බලශක්ති ව්‍යාපෘතිවලට කැප කළ හොත්, එම දූපතට එහි ජනතාවගේ පැවැත්මෙහි මූලික පදනම වන ඉඩම්, ජලය සහ පරිසරය අහිමි විය හැකි ය.
මන්නාරමේ ප්රජාවන්ගේ ඉල්ලීම මෙම සංවර්ධනය ප්‍රතික්ෂේප කිරීමක් නොවේ, එය නැවත සිතා බලන ලෙස කරනු ලබන ඉල්ලීමකි:
■ බලපෑමට ලක් වන සියලු ම ජනතාවගේ ස්වාධීන, පූර්ව සහ දැනුවත්භාවයෙන් යුතු කැමැත්ත සහතික කරන, අයිතිවාසිකම් මත පදනම් වූ සංවර්ධන ආකෘතියක්.
■ ව්‍යාපෘති මගින් ජීවනෝපායන් අඩපණ කරනවාට වඩා ජීවනෝපායන් වැඩිදියුණු කරන බව සහතික කරන, ප්‍රදේශයට ලැබෙන ප්රතිලාභ සඳහා ප්‍රමුඛත්වය දෙන ආකෘතියක්.
■ මන්නාරමේ සියුමැලි භූමි ප්‍රදේශය, ජෛව විවිධත්වය සහ ගෝලීය පාරිසරික වැදගත්කම හඳුනා ගන්නා පාරිසරික වශයෙන් තිරසාර ආකෘතියක්.
■ ප්‍රජාවන් ජාතික ප්‍රතිපත්තියේ වින්දිතයින් නොව, හවුල්කරුවන් වන සාධාරණ හා සහභාගීත්ව ආකෘතියක්.
නිර්දේශ
මෙම යථාර්ථයන් සැලකිල්ලට ගනිමින්, වහාම පහත සඳහන් පියවර ගැනීම අවශ්‍ය වේ:
මහා පරිමාණ වැලි කැණීම වහාම නැවැත්වීම
■ සැබෑ ප්‍රජා සහභාගීත්වයෙන් යුතු පරිපූර්ණ පාරිසරික බලපෑම් ඇගයීමක් සිදු කරන තෙක් මන්නාරමේ ඛනිජ වැලි කැණීම සඳහා ලබා දී ඇති සියලු ම අනුමැතීන් අත්හිටුවීම.
සුළං බල ව්‍යාපෘති පිළිබඳ නැවත ඇගයීම් සිදු කිරීම
■ පාරිසරික බලපෑම, ප්‍රජාවගේ කැමැත්ත සහ සාධාරණ ප්රතිලාභ බෙදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින්, පවතින ව්‍යාපෘති සමාලෝචනය කිරීම.
■ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම මගින් සම්පත් අධික ලෙස භාවිතා කිරීමේ අසාධාරණයන් ප්රතිනිෂ්පාදනය නොවන බව සහතික කරමින්, විනිවිදභාවයෙන් යුතු මාර්ගෝපදේශ ස්ථාපනය කිරීම.
නීති සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ
■ ශ්‍රී ලංකාවේ ස්වාභාවික සම්පත් පාලනයට පාරිසරික අයිතිවාසිකම්, පරම්පරා අතර යුක්තිය සහ ස්වාධීන, පූර්ව සහ දැනුවත්භාවයෙන් යුතු කැමැත්ත අන්තර්ගත කර ගැනීම මගින් එප්පාවල තීන්දුවේ මූලධර්ම ක්‍රියාත්මක කිරීම.
■ මන්නාරම වැනි පාරිසරික වශයෙන් සංවේදී කලාපවල ව්‍යාපෘති සඳහා ස්වාධීන පර්යේෂණ ආයතන යොදාගන්නා බව සහතික කිරීම.
ප්‍රජා කේන්ද්‍රීය සංවර්ධන විකල්ප
■ ප්‍රජා අවශ්‍යතා වලට අනුකූල වන කුඩා පරිමාණ, ප්රාදේශීයව කළමනාකරණය කරනු ලබන පුනර්ජනනීය බලශක්ති විසඳුම් සඳහා ආයෝජනය කිරීම.
■ තිරසාර වන සහ සංස්කෘතික වශයෙන් ස්ථාවර වී තිබෙන ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ පරිසර සංචාරක කර්මාන්තය ආශ්රිත ජීවනෝපායන් ශක්තිමත් කිරීම.
වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම
■ සියලුම යෝජිත ව්‍යාපෘති පිළිබඳ තොරතුරුවෙත ප්‍රවේශය සහතික කිරීම.
■ අවශ්‍ය නම්, බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට අධිකරණ, මානව හිමිකම් ආයතන සහ ජාත්‍යන්තර යාන්ත්‍රණ හරහා සහන ලබා ගැනීමට අවස්ථාව ලබා දීම.
මන්නාරමේ කතාව එක් ප්‍රදේශයක් පිළිබඳව පමණක් නොවේ, එය ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ අනාගත දිශාව පිළිබඳ කතාවකි. අහිමි කරනු ලැබීමේ සහ සූරාකෑමට ලක් කිරීමේ වැරදි රට විසින් නැවත සිදු කරයිද, නැත හොත් එප්පාවල නඩුවෙන් ඉගෙන ගෙන මිනිසුන්, ඉඩම් සහ අනාගත පරම්පරාවන් ආරක්ෂා කරන සංවර්ධන ආකෘතියක් අනුගත කර ගනියිද? මන්නාරමේ ජනතාවට, මේ සඳහා පිළිතුර වහාම අවශ්‍ය කර තිබේ. ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ එය මත ය.
ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය වෙනුවෙන් ශබීර් මොහොමඩ්