
හිගුරාන උක් ගොවීන් මුහුණ දෙමින් සිටින ගැටළුව
Published
හිගුරාන උක් ගොවීන් මුහුණ දෙමින් සිටින ගැටළුව
1965 සිට විවිධ අවස්ථාවලදී උක් වගාවන් සදහා ඉඩම් ලබා ගැනීම හේතුවෙන් එම ඉඩම්වල පාරම්පරිකව ගොවිතැනේ යෙදුනු ගොවීන් විශාල ප්‍රමාණයකට ඉඩම් අහිමිව ඇත. එම ගොවීන්ගෙන් සමහරකට උක් වගාව සදහා පමණක් භාවිතා කිරීමේ කොන්දේසිය මත විකල්ප ඉඩම් ලබා දී ඇතත්, එම ඉඩම් සදහා නිසි හිමිකාරිත්වයක් පවරා දී නොමැත.
එමෙන්ම එසේ ලබා දුන් ඇතැම් විකල්ප ඉඩම් උක් වගාවට නුසුදුසු වීම හේතුවෙන් ගොවීන් විශාල වශයෙන් පාඩු ලබමින් සිටී. සමාගම විසින් ගොවීන්ගේ නමින් වගාවන් සදහා බැංකුවෙන් ණය ලබා ගැනිම හේතුවෙන් ගොවීන් ණයගැතියන් බවට පත්ව ඇත.
සමස්තයක් ලෙසම සමාගමේ පරිපාලනය උක් වගාව සංවර්දනය සදහා අවශය නිසි ආයෝජනයන් නොකිරීම හේතුවෙන් වගාවේ නියුතු සෑම ගොවියෙකුම ඉතා විශාල පිඩාවන්ට ලක්ව සිටී.
රට සමස්තයක් ලෙස ආර්ථික හා ආහාර අර්බුදයකට මුහුණ දෙමින් සිටිනා මේ මොහොතේ මෙම උක් වගාවන් සඳහා යොදා ගන්නා ලද ඉඩම් උක් වගාවට නුසුදුසු වීම හේතුවෙන් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පුරන් වන්නට ඉඩ හැර ඇත.
මෙසේ උක් වගාව උදෙසා ලබාගත් ඉඩම් (බොහෝ අවස්ථාවල බලහත්කාරී ලෙස ) මුස්ලිම ජාතික ගොවීන් විසින් භාවිතා කරන ලද ඉඩම් වන අතර, එම ඉඩම් පසුව පදිංචි කරවනු ලැබූ සිංහල ගොවීන් වෙත ලබා දීමෙන් ජනවාර්ගික කොටස් අතර ආතතියක් ඇති කිරිමට ද මෙම තත්වය හේතු වී තිබේ.
මෙම ගැටළුව විසදීම සදහා අප විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා
කෙටි කාලීනව
උක් වගාවට භාවිතා නොකර පුරන්ව යාමට ඉඩ හැර ඇති ඉඩම් ආහාර බෝග වගාවන් සඳහා ගොවීන්ට ලබා දීම.
රජය, උක් පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන සමඟ එක්ව උක් වගාව සඳහා හඳුනාගත් ඉඩම්වල යෝග්‍යතාවය පිළිබඳ විද්‍යාත්මක තක්සේරුවක් කළ යුතුය. උක් වගාවට නුසුදුසු ඉඩම්වල වී හෝ වෙනත් භෝග වගා කිරීමට ගොවීන්ට ඉඩ දිය යුතුය.
උක් ගොවීන් සඳහා ව්‍යාප්ති සේවා, ගුණාත්මක රෝපණ ද්‍රවය සහ යෙදවුම් සහ යන්ත්‍රෝපකරණ සැපයීමේ වගකීම සමාගම සහ රජය සතු වේ. අස්වැන්න සඳහා නිසි මිලක් ලබා ගැනීමට හැකි වන පරිදි මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. කෘෂිකර්ම හා ගොවිජනසේවා දෙපාර්තමේන්තුව වැනි රජයේ දෙපාර්තමේන්තු ගොවීන්ට තම වගාව වැඩිදියුණු කිරීම සඳහා තාක්ෂණික සහාය ලබා දිය යුතුය. වී වගාව තුළ අනුගමනය කරන පලදායී ක්‍රම උක් වගාවට අනුවර්තනය කර යොදාගත හැකිය.
ගොවීන්ගේ හඬ සහ තීරණ ගැනීමේ බලය වැඩි දියුණු කිරීම සඳහා ගොවි සංවිධාන ශක්තිමත් කළ යුතුය. දිස්ත්‍රික් ලේකම්වරයා ප්රමුඛ තීරණ ගැනීමේ යාන්ත්රණයන්ට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව සලසා දිය යුතුය. සමාගමේ කොටස්වලින් 51% හිමි රජයේ නිජයෝජිතයා ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ගොවීන් සහ ඔවුන්ගේ සංවිධාන සමඟ සමීපව කටයුතු කළ යුතු අතර තීරණ ගැනීමේ වේදිකාවල ඔවුන්ගේ හඬ නියෝජනය කළ යුතුය.
මධ්‍ය හා දිගු කාලීන යෝජනා
අම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාවන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ඓතිහාසික අසාධාරණය සොයා බැලීමේ ක්‍රියාවලියක් ( ස්වාදීන කොමිෂන් සභාවක් වැනි ) රජය විසින් ආරම්භ කළ යුතුය. ඉඩම් අයිතිවාසිකම් කඩකිරීම් සහ එම ඉඩම් මුල් අයිතිකරුවන්ට ආපසු ලබාදීමේ ක්‍රම පිළිබඳව එහිදී සොයා බැලිය යුතුය. දීර්ඝ කාලයක් එම ඉඩම් වෙනත් ගොවීන් විසින් පරිහරණය කර ඇති අවස්ථාවක මුල් අයිතිකරුවන්ට වන්දි හෝ විකල්ප ඉඩම් ලබාදිය යුතුය.
විකල්ප ඉඩම් ලබා ගන්නා ගොවීන්ට බලපත්‍ර හෝ දීමනපත්ර මගින් තම ඉඩමේ නිසි අයිතිය ලබා දිය යුතුය. තම ඉඩමේ වවන භෝග සහ වගා ක්‍රමය තීරණය කිරීමට ඔවුන්ට නිදහස තිබිය යුතුය.
ඒක භෝග වගාවක් ලෙස උක් වගාවේ ශකයතාව සහ ඒකාබද්ධ තිරසාර ගොවිතැන් ක්‍රමයක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව නිසි තාක්ෂණික තක්සේරුවක් කළ යුතුය. කාර්යක්ෂමතාව සහ තිරසාර බව වැඩි දියුණු කිරීම සඳහා ඒකාබද්ධ උක් වගාවේ කෘෂි-පාරිසරික පිළිවෙත් පර්ජේෂණ හා ක්‍රියාවට නැංවීම සඳහා රජය ආයෝජනය කළ යුතුය.
ගොවීන්ට ඔවුන්ගේ ජීවිත සහ ජීවජනෝපාය නැවත ගොඩනගා ගැනීමට උපකාර කිරීම සඳහා සමාගම වෙත ගොවීන් විසින් දැනට ගෙවීමට නියමිතව ඇති සියලුම ණය අවලංගු කළ යුතුය.
ගොවීන්ට තර්ජනය කිරීම සහ බිය ගැන්වීම් කිරීම සම්බන්ධයෙන් අපරාධ නඩු පැවරීම ප්‍රාදේශීය නීතිය ක්රීයාත්මත කිරීමේ බලධාරීන් විසින් සිදු කළ යුතු අතර මෙම සිදුවීම් පිටුපස සිටි අය නීතිය ඉදිරියට රැගෙන ආ යුතුය.
ගොවීන්ට බිය ගැන්වීමේ හා නිශ්ශබ්ද කිරීමේ අරමුණින් අරඹා ඇති පදනම් විරහිත නඩු සමාගම විසින් ඉල්ලා අස්කර ගත යුතුය. යම්හෙයකින් මෙම නඩු තවදුරටත් ඉදිරියට ගෙන යාමට සමාගම උත්සාහ කරන්නේනම් නම් එම නඩුවලදී රජය ගොවීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු අතර එවැනි නඩු නිෂ්ප්රභා කරවා ගැනීම සඳහා අධිකරණය ඉදිරියේ අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතුය.