‘හිමිකම‘ වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදීම සම්බන්ධයෙනි
Published
‘හිමිකම‘ වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබාදීම සම්බන්ධයෙනි
කලින් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘උරුමය’ වැඩසටහන යටතේ සිදුකරමින් තිබූ සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන යම් යම් වෙනස්කම් සහිතව ‘හිමිකම’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීම ඔබතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙම මස 27 වන දින අනුරාධපුරයේදී පැවැත්වෙන වැඩසටහනකින් ආරම්භ කෙරෙන බව ප්රවෘත්ති මඟින් දැනගන්නට ලැබී තිබේ.
අප දකින ආකාරයට කවර යහපත් අපේක්ෂාවන් පෙරදැරි කරගනිමින් මෙම පියවරට එලැඹියද එමඟින් මෙරට ආහාර නිෂ්පාදනයේ අතිබහුතරයේ වගකීම දරන සුලු පරිමාණ ආහාර නිෂ්පාදකයින් බලවත් ලෙස අර්බුදයට ගෙන යා හැකි, ඒ හේතුකොටගෙන මෙරට ආහාර අර්බුදයක් හා ඒ හරහා වන ආර්ථීක අර්බුදයක් පමණක් නොව බලවත් සමාජීය අර්බුදයකට පවා පාර කැපිය හැකි පියවරක් බවට පත්වීමේ විශාල අනතුරක් පවතී.
මෙරට කෘෂිකර්මාන්තයේ පදනම වූ සුලු ඉඩම් හිමි ගොවීන් නිර්මාණය කළ ගොවි ජනපද ව්‍යාපාර ඇරඹි මුල් යුගයෙන් පසු 1950 දශකයේ සිටම ලෝක බැංකුව ඇතුලු ආධාර දෙන සංවිධාන දිගින් දිගටම කියා සිටියේ මෙම පියවර ඵලදායී නොවන පියවරක් බවත්, ඒ වෙනුවට සිදුකළ යුත්තේ පුද්ගලික අයිතිය යටතේ විශාල ප්‍රාග්ධන ආයෝජන හරහා මහා පරිමාණ වගාබිම් නිර්මාණය කිරීම සහ ඒවායේ සේවය කරන වැටුප් ලබන කෘෂි ශ්‍රමිකයින් බිහිකිරීමත් බවයි. ගොවි ජනපද ව්‍යාපාර සම්බන්ධයෙන් පවා එම ආයතනවල අනාවැකියවූයේ කාලයත් සමඟ ඉඩම් ප්‍රදාන ලැබූ විශාල පිරිසක් සිය ඉඩම් විකුණා සිය ඉඩම් හිමිකාරත්වය අතහැර දමනු ඇති බවත්, එකී ඉඩම් තමන් අත සංකේන්ද්‍රණය කරගන්නා සුලු පිරිසක් විසින් මහා පරිමාණ වගාබිම් ස්ථාපිත කරනු ඇති බවත්ය. අනෙක් අතට ඉඩම් අහිමි පිරිස් එකී වගාබිම්වල ශ්‍රමිකයින් බවට පත්වීම හෝ නගරයට සංක්‍රමණය වෙමින් නාගරික ශ්‍රම බලකායට ඇතුලත්වනු ඇති බවත් එම ආයතනවල අදහස විය. නමුත් ඉඩම් අයිතිය බැහැර කිරීම සම්බන්ධයෙන් පැවැති සීමාවන් නිසාවෙන් මෙම තත්ත්වය නිර්මාණය නොවීය (මේ නිසාම අවිධිමත් ගණුදෙනු හරහා ගම් යම් ගැටලු ඇතිවී ඇති බව අපි ප්‍රතික්ෂේප නොකරමු). අනතුරුව, මේ තත්ත්වය නිර්මාණයවීමේ බාධකය වූ ඉඩම් වෙළදපොලට නිදහස්වීම වැලැක්වීමේ නීතිමය සීමාවන් අතික්‍රමණය කිරීම සඳහා සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට ලෝක බැංකුව ඇතුලු ආධාර දෙන ආයතන දිගින් දිගටම පැවැති සියලු රජයන්ට බලපෑම් කරන ලදී. රනිල් වික්‍රමසිංහ රජය ‘උරුමය’ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූයේ එකී අවශ්‍යතාව තෘප්ත කරනු පිණිසය. ‘උරුමය’ ප්‍රවර්ධන වැඩසටහන්වල එය හඳුන්වාදී තිබුණේ ජනතාවට විකිණිය හැකි ඉඩම් ඔප්පුවක් ලබාදෙන වැඩසටහනක් ලෙසින් බවද මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමු.
පසුගිය දශක ගණනාව පුරාවටම ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වී තිබුණේ සින්නක්කර ඉඩම් අයිතිය ලබාගැනීම නොව ඉඩම් සංවර්ධන ආඥා පනතේ පැවැති යල්පැනගිය ප්රතිපාදනයක් වන අනුප්‍රාප්තිකයකු නම් නොකර හිමිකරු මියගිය අවස්ථාවේදී පවුලේ වැඩිමහල් පිරිමි දරුවාට අයිතිය සාරෝපනයවීම, ඉඩමේ රැඳී සිටිමින් එය සංවර්ධනය කරන දරුවන්ට හිමිකාරත්වයට සීමා පැවතීම හා ඉඩම සංවර්ධනයට අවශ්‍ය ප්‍රාග්ධන සම්පාදනය සඳහා ඉඩම උගස් කිරීමට පැවැති තහනම ඉවත් කිරීම යනාදිය යි. මේ වන විට එකී ගැටලු නෛතික වශයෙන් විසඳී තිබේ.
අනෙක් අතට පසුගිය මැතිවරණවලදී ජනතාව විසින් අතිබහුතර ඡන්දයෙන් අනුමත කරනු ලැබූ ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක්- ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලද කියැවුනේ “ඉඩම් හිමිකාරත්වය එසේම තබා ගනිමින් කුඩා පරිමාණ වගා ඒකක ගොවි සමාගම්/ සමූපකාර යටතේ මනා කෘෂි කළමණාකරණ පිලිවෙත් අනුගමනය කරනු ලබන මධ්‍ය හා විශාල පරිමාණ වගා ඒකක බවට පරිවර්තනය” කිරීමේ ප්රගතිශීලී පිලිවෙතකි. නමුත් සින්නක්කර ඉඩම් අයිතිය විසින් සිදුකරනු ඇත්තේ ගොවීන්ගේ සාමූහික නිෂ්පාදනය හා ලාභය සාමූහිකව බෙදීයාම සහතික කෙරෙන එවැනි කෘෂිකර්මාන්තයක් නිර්මාණය වනු වෙනුවට ලෝක බැංකුව ඇතුලු ආයතන දශක ගණනාවක් තිස්සේ නිර්දේශ කළ හා රනිල් වික්‍රමසිංහ රජය විසින් ක්‍රියාවට නැංවීමට උත්සාහ කළ මහා පරිමාණ පුද්ගලික කෘෂි ව්‍යවසායන්ට පාර කැපීමයි. ආර්ථිකයේ හිමිකම හා පංගුව සැමටම අත්කරදීමේ ජාතික ජන බලවේගයේ වාමවාදී අභිලාෂයන්ට මෙය සපුරා පටහැනි බව අපගේ අදහසයි. පසුගිය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල අවස්ථා ගණනාවකදී (මිනින්දෝරු වෘත්තිකයින්ගේ සමුලුව ඇතුලුව) එවක ජනාධිපති අපේක්ෂක ලෙස ඔබතුමා විසින් මෙරට ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් අතිශය ප්‍රශස්ථ අදහස් දැක්වීම් ගණනාවක්ම සිදුකරන ලද අතර ඉඩම් අයිතියේ ආර්ථීක, සාමජීය, සංස්කෘතික මෙන්ම චිත්තවේගී මානයන් පිලිබඳවද ඉතා ගැඹුරු අවබෝධයක් සහිතව එහිදී ප්‍රකාශිත අදහස්වල පදනම වූයේද අප ඉහත දක්වන ලද තර්කයම බව අපගේ වැටහීමයි.
එමෙන්ම මහා පරිමාණ නිෂ්පාදකයින් හරහා බිහිවන එකාධිකාරයන් හා කාටලයන් විසින් ඇති කළහැකි බලපෑම වී මිළ සම්බන්ධයෙන් දැනටමත් අප විසින් හොඳින්ම අත්විඳිමින් සිටින තත්ත්වයක් තුල ඉඩම් අයිතිය සංකේන්ද්‍රණය හරහා එවන් තත්ත්වයක් කෘෂි නිෂ්පාදනය සම්බන්ධයෙන් ද ඇතිවීමේ අවදානමක් මෙම පියවර හරහා පවතින බව නොකිවමනාය. එය රටේ ආර්ථීකය මෙන්ම රජයේ ආර්ථිකය සැලසුම් සහගතව මෙහෙයවීමේ ව්‍යායාමයටද මරු පහරක් වන ව්‍යුහාත්මක පරිවර්තනයක් වනු ඇත.
එමෙන්ම ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මෙරට ඉතිහාසය පුරා පැවැති ආතතීන් යටත්විජිත මෙන්ම පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ මහජන නැගිටීම් සමඟද බැදී පවතින බව 1971 හා 1988-89 ජනතා නැගිටීම් පසුපස සිටි දේශපාලන ව්‍යාපාරය ලෙස ඔබ පක්ෂයට මනා අවබෝධයක් ඇති බව අපි දනිමු. එවන් අබෝධයක් සහිත පක්ෂයක් විසින් මෙහෙයවන රජයක් යටතේ ක්‍රියාත්මක වන මෙවන් ව්‍යාපෘතියක් හරහා බිහිවිය හැකි ඉඩම් අහිමි පරම්පරාවන්ගේ අනාගත ආතතීන් බෙහෙවින් අයහපත් ප්‍රතිඵල ඇතිකර දියහැකි බව ඔබට මතක් කරදීම පවා අවශ්‍ය නොවන බව අපගේ විශ්වාසය යි.
මේ සියලු කරුණු සලකා බලමින් සැලසුම්කොට ඇති ‘හිමිකම’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් යලි ගැඹුරින් සලකා බලන ලෙස අපි ඔබගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
මෙයට
විශ්වාසී
නටාශා වැන්හොෆ්
ඉඩම් අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය
පිටපත්
1. ගරු කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මැතිතුමා
2. ගරු ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මැතිතුමා
3. ජනාධිපති ලේකම්තුමා
4. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්තුමා
5. ඉඩම් කොමසාරිස් ජනරාල් තුමා