කුරුන්දි විහාරය හා තන්නිමුරුප්පුව ඉඩම් ගැටළුව.

කුරුන්දි විහාරය හා තන්නිමුරුප්පුව ඉඩම් ගැටළුව.


කුරුන්දි විහාරස්ථානය හා කුරුන්දි විහාරයට ආසන්න තන්නිමුරුප්පුව ගම්වාසීන්ගේ ඉඩම් සම්බන්ධයෙන් මේ දින වැඩි කතාබහක් සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් විවාදාපන්න තොරතුරු රැසක් සමාජගතවෙමින් පවති.

තන්නිමුරුප්පුව ගම්වාසීන්ගේ ඉඩම් පුරාවිද්‍යා රක්ෂිත සීමාවට හා වන සංරක්ෂණ සීමාවන්ට අයත් කර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ පුද්ගලයින් විවිධ මත ඉදිරිපත් කරමින් සිටිති. එවන් වකවානුවක ගැටළුවට මූලික වී  ඇති කුරුන්දි විහාරය සම්බන්ධයෙන් වන තොරතුරු සොයා බැලීම පළමුව සිදුකළ යුතුය.


කුරුන්දි විහාරයේ ඉතිහාසය.


කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය මුලතිව් දිස්ත්‍රික්කයේ, මුහුදුබඩ පත්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, තන්නිමුරුප්පුව ග්‍රාමසේවා වසමේ, නාගචෝලෙයි රක්ෂිතය තුළ පිහිටා ඇත.


අට්ඨකථාවන්හි සහ වංශකතාවන් අනුව "කුරුන්දක", "කුරුන්ද", "කුරුඥපාසක" යන නම්වලින් හඳුන්වා ඇත්තේ මෙම ස්ථානයයි.

අනුරාධපුර රාජධානි සමයේ ඛල්ලාඨනාග රජු ක්‍රි.පු 109-104 දී කුරුඥපාසක නම් මෙම විහාරස්ථානය ගොඩනැගු බවත්, පළමුවන අග්බෝ රජු ක්‍රි.ව 571-604 දී "කුරුන්දක" විහාරය පිළිසකර කරවා "කුරුන්දවාපි" නම් වැවක්ද, පොල් උයනක්ද කරවා පූජා කළ බවත්, පළමුවන විජයබාහු රජු ( ක්‍රි.ව 1055 - 1110 ) දී කුරුන්දි විහාරයට විවිධ අනුග්‍රහ දැක්වූ බවත්, දෙවන පැරකුම්බා රජු විසින් ( ක්‍රි .ව 1236 - 1270 )  දී මෙහි පැවති කාලිංග මාඝගේ බල කඳවුරක් විනාශ කළ බවත් මහාවංශයේ සඳහන් වේ.

වර්ෂ 1905 දි පුරාවිද්‍ය පාලන වාර්තාවල කුරුන්දි විහාර සීමාවෙන් හමු වූ තුන්වන මිහිඳු රජුට අයත් සෙල්ලිපියක් ගැන සඳහන් වේ.

අදාළ සෙල්ලිපියේ කුරුන්ගම නමින් මේ ප්‍රදේශය හදුන්වා ඇති බව පුරාවිද්‍ය නිළධාරීන්ගේ මතයයි. වැවේ පැවති දිය ආරවුලක් සංසිදුවා අදාළ සෙල්ලිපිය පිහිටවූ බව එහි සඳහන් වේ.

කුරුන්දි විහාර සංකීර්ණය සම්බන්ධයෙන් පුරාවිද්‍ය නිළධාරී එච්.සි.පි.බෙල් මහතාගේ වාර්තාවන්ගේ හා විජිත සමයේ සිවිල් නිලධාරීන් වූ හෙන්රි පාර්කර්, ජේ.පී. ලෙවිස් යන මහත්වරුන්ගේ වාර්තාවන්හි වැඩිදුර විස්තර සඳහන් කර ඇත.


කුරුන්දි විහාර සීමාව හා නව පුරාවිද්‍යා රක්ෂිත සීමාව හදුනාගැනීම


කුරුන්දි විහාරය ,කුරුන්දි විහාරයේ පුරාවිද්‍ය නටඹුන් ආරක්ෂා කිරීම හා පුරාවිද්‍යා සීමාවේ නව සීමා මායිම් ගවේෂණය කිරීම වවුනියාව පිහිටි පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලය හරහා සිදුකරනු ලැබීය. කුරුන්දි විහාර පරිශ්‍රය යටත් විජිත සමයේ 1933 මැයි 12 දින විශේෂ ගැසට් පත්‍රයක් මඟින් අක්කර 78 ක භූමි කොටසක් පුරාවිද්‍ය රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබිණ.


2020 වසරේ නොවැම්බර් 26,27, 28, 29 දිනවල එම පැරණි මායිම් වසර 87 කට පසු පාදාගැනීමේ කාර්යය වවුනියාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාල නිළධාරීන් හා මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ආරම්භ කරන ලදී. එහිදි පැරණි සීමා මායිම් ගල් රූස්ස කැළෑව තුළ සියයට අනූවක ප්‍රමාණයක් නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකි වු බව වවුනියාව පුරාවිද්‍යා කාර්යාල නිළධාරීන් පවසති.


වවුනියාව පුරාවිද්‍යා කාර්යාල නිළධාරීන් පැවසූවේ පැරණි සීමාවට ආවරණය නොවූ පුරාවිද්‍යා සාධක ඇති බව සිය නිරීක්ෂණයන්ගෙන් අනාවරණය වීමෙන් අනතුරුව 2020 වසරේ දෙසැම්බර් 02 දින වවුනියාව පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාල ගවේෂණ නිළධාරීන් කුරුන්දි වැවට පහළින් වනයෙන් වැසී ඇති ප්‍රදේශය සහ කුරුන්දි ස්තූපය ඇතුලු සාධක විසිර ඇති ප්‍රදේශය වටා ගවේෂණය කිරීමෙන් පසු පැරණි ආරාමික පරිශ්‍රයේ ස්මාරක තවත් අක්කර 229 ක පමණ විශාල ප්‍රදේශයක විහිදී ඇති බව නිරීක්ෂණය කළ බවයි.


අලුතින් නිරීක්ෂණය කළ ස්මාරක හා නටබුන් අතර,


01. අනුරාධපුර යුගයේ අවසාන භාගයේ ක්‍රි.ව 946 - 954 කාලය පාලනය කළ සිව්වන උදය රජුට අයත් පුවරු ලිපියක් සොයගෙන තිබිණ. ( අභයගිරිය ආරාමයට අනුබද්ධිත සිරිසඟබෝ රජමහ විහාරය නම් ආරාමයක් සම්බන්ධයෙන් හා ඊට කල පුද සිරිත් පිළිබඳවත්, භික්ෂූන් වහන්සේලාගේ පොදු කැමැත්තෙන් තුන් නිකායවල් සමඟි කිරීම සම්බන්ධව එකඟ වූ කතිකාවතක් සහ අභයගිරි විහාරයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් මෙම ස්ථානයේ තිබූ පධානඝරයටත්, පිලිමගෙයටත් දෙන ලද දීමනා, වතාවත්, පුදසිරිත් පිලිබඳ ලිපියක් ) එලෙස හමුවු සෙල් ලිපිය මුලින් හෙන්රි පාර්කර් විසින් වාර්තා කර තිබූ අතර, 1949 පුරාවිද්‍යා පාලන වාර්තාවේ මෙම ලිපිය 1931 දී ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර මහතා විසින් වාර්තාගත කොට ඇති බවත් සඳහන්.


02. පළමු ගැසට් නිවේදනයෙන් සීමා කළ අක්කර 78 ක ප්‍රමාණයට ඔබ්බෙන් ගැසට් කරන ලද අක්කර 78 භූමියෙන් පරිභාහිරව මුරගල්, ශිලාකුළුනු, පැරණි ගඩොල්, උළු සහිත ගොඩැගිල්ලක සාධක, ගඩොල් සහිත ගොඩනැගිලි 10 ක පමණ සාධක.


03. කුරුන්දි වැව් බැම්මේ උතුරු දෙසින් පිහිටි පැරණි යකඩ නිෂ්පාදන ප්‍රදේශයක්. ( වැවේ සංවර්ධන කටයුතුවලදි අදාළ ප්‍රදේශය විනාශ වි ඇත. )


04. ඉපැරණි ගල් පාලමක සාධක.

සොයාගෙන ඇති බව වවුනියාව පුරාවිද්‍යා කාර්යාල නිළධාරීන් පවසති.


කුරුන්දි පුරාවිද්‍යා ප්‍රධාන ස්මාරකයේ සිට යාර 400 ක ( මීටර් 365.76 ) විහිදී යන භූමයක් එම පුරාවිද්‍යා පරිශ්‍රයට අයත් වන බවත් පුරාවිද්‍යා නිළධාරීන් හදුනාගෙන තිබිණ.

අදාළ නිර්ණායකය සහ පවතින පුරාවිද්‍ය සාධක ආවරණය වන අයුරින් 1933 වසරේ ගැසට් කරන ලද අක්කර 78 ක පුරාවිද්‍යා රක්ෂිත ඇතුළුව සම්පූර්ණයෙන් අක්කර 229 ක භූමි ප්‍රමාණයක් හදුනාගත් බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර, ඒ හරහා නව සීමාවන් යොදා ඇති බව වවුනියාව පුරාවිද්‍ය කාර්යාලය සඳහන් කළහ.


නව පුරාවිද්‍යා සීමාව හා තන්නිමුරුප්පුව ගම්වාසීන්ගේ ඉඩම් අහිමිවීම.


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නව පුරාවිද්‍යා සීමාවක් හදුනාගෙන මායිම් ගල් දැමීම හේතුවෙන් තමන්ගේ පැරණි ඉඩම් අක්කර 40 කට ආසන්න ප්‍රමාණයක් නව  පුරාවිද්‍යා සීමාවට පවරාගෙන ඇති බව තන්නිමුරුප්පුව ගම්මානයේ ගොවි සංවිධාන නියෝජිතයින් පවසති.

තන්නිමුරුප්පුව ගොවි සංවිධානයේ සභාපති එස්.සෂිකුමාර් මහතා තම ගම්වාසීන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් පැවසූවේ මෙවැන්නකි.

මේක දකුණේ ඉන්න සිංහල ජනයාට කියන්න ඕනේ.

තන්නිමුරුප්පු ගමේ මුලින් පවුල් 36 ක් හිටියා.


පුරාවිද්‍ය රක්ෂිතයට පවරාගෙන ඇති ඉඩම් දෙස බලා සිටින සෂිකුමාර්.


"කුරුන්දි පුරාවිද්‍යා ස්ථානය යුද්දේ කාලයේ ඉදලාම හා ඊට ඉස්සරත් එතන තිබුණා කියලා අපි දන්නවා. ඒ පුරාවිද්‍යා ස්ථානයට අපි කිසිම හානියක් කවදාවත් කරලා නෑ. යුද්දේ කාලයේදීත් කිසිවෙක් පුරාවිද්‍යා ස්ථානයේ ඉදිකිරීමකට හානි කෙරුවේ නෑ. එහෙම හානි කරන්න එල් ටී ටී ඊ සංවිධානයත් කිසිම කෙනෙකුට අවස්ථාවක් දුන්නේ නෑ.

කුරුන්දි විහාරය කියලා කිව්වාට අපි ඔතනට කිව්වේ කුරුඳුර්මලෙයි කියලා. අපේ පරම්පරා ගණනාවක මිනිස්සු ඔය ස්ථානයේ වැදුම් පිදුම් කරා. දෙමළ ජනතාව හිතන්නේ අපේ පැරණි කෝවිලක් ඔතන තියෙනවා කියලා. කුරුඳුර්මලෙයි පුරාවිද්‍යා සීමාව වෙන් කරලා 1933 අක්කර 78 ක් මායිම් කරලා සුද්දොන්ගේ කාලේ ගල් දාලා තියනවා. අදටත් ඒ ගල් සීමාවන් තියෙනවා. අපි ඒ ගල් දාපු සීමාව හොඳට දන්නවා. ඒ කාලයේ අඩි 50 න් 50 ට ගල් දාලා පුරාවිද්‍ය සීමාව මායිම් කරලා තිබුණා. අපේ මිනිස්සු ඒ සිමාවේ වගා කරන්න ගියේ නෑ. ඒත් දැන්  කුරුඳුර්මලෙයි අලුතෙන් පන්සලක් හදන්න ආවාට පස්සේ තමයි ගැටළුව ඇති වුණේ.

පන්සල පරණ සීමාවේ හදන එකට අපි විරුද්ධ නෑ. ඒත් දැන් 2020 අවුරුද්දේ ඉදලා පන්සල හදනවා කියලා අලුතෙන් මැනුම් කටයුතු සිද්ධ කළා. ඒ මැනීම් කටයුතු සිදුකරනකොට කියනවා පන්සලට අලුතෙන් අක්කර 229 ක් ඕනේ කියලා. එහෙම කියලා අපේ පැරණි ගම්මානවල මිනිස්සු පදිංචිවෙලා හිටපු ඉඩම්, අපි වගා කරපු කුඹුරු ඉඩම් ඔක්කෝම ඇතුළත් කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පුරාවිද්‍යා රක්ෂිතයක් කියලා අලුතෙන් ගල් දැම්මා.

එහෙම අලුතෙන් ගල් දාපු සීමාවේ අපේ ගොවියන්ගේ ඉඩම් අක්කර 40 ක් විතර ඇතුළත් වෙලා තියෙනවා. අපි 1956 හදපු වී ගබඩාවක්,පැරණි ගෙවල් සීමාවන්,පැරණි ළිං,පැරණි වාරිමාර්ග දෙපාර්තමේන්තු ගොඩනැඟිලි ඒ සීමාවට අයිතිවෙලා තිබෙනවා. අපි කියන්නේ 1933 පැරණි පුරාවිද්‍යා සීමාවේ අක්කර 78 ඇතුලේ මොන ආකාරයෙන් පන්සලක් හැදුවත් අපිට ගැටළුවක් නෑ. ඒත් අපේ ගම්වල මිනිස්සු 1953 අවුරුද්ද හා ඊට කලින් පදිංචිවෙලා හිටපු ඉඩම්, ගම්මාන ඇතුළත් කරලා දැන් අවුරුදු තුනකට කලින් පුරාවිද්‍යා ගල් දාලා අලුතෙන් පුරාවිද්‍යා සීමාවක් හදලා අපේ මිනිස්සුන්ට සිදුකරන අසාධාරණය නවත්වන්න කියලා විතරයි."


 

1933 වසරේ පුරාවිද්‍ය රක්ෂිතය වෙනුවෙන් යෙදු සීමා ගල්.


   

තන්නිමුරුප්පුව ගම්වාසීන් ජිවත්වු ඉඩම් වෙත නව පුරාවිද්‍ය සීමා මායිම් ගල් යොදා ඇති අයුරු.


"එහෙම නැතුව ජාතිවාදි ගැටළුවක් ඇති කරන්න අපිට අවශ්‍යතාවයක් නෑ. මේ කැළැව මැද්දේ පන්සලක් හැදුවා කියලා කවුරුවත් යන්නේ එන්නේවත් නැති වෙයි. එහෙම එකේ පන්සලට කියලා තවත් අක්කර 229 ක් අරගන්න එකෙන් ඇතිවෙන ප්‍රයෝජනය මොකක්ද?

පුරාවිද්‍යා රක්ෂිතය කියලා අලුතෙන් ගල් දාලා තියෙන සීමාව ඇතුළේ තමයි කුරුඳුර්මලෙයි වැව පිහිටලා තියෙන්නේ. අපේ කුඹුරු කොටසක් පිහිටලා තියෙන්නේ. වැව පුරාවිද්‍යා රක්ෂිතයට පවරාගත්තට පස්සේ අපිට වගා කරන්නවත් බැරිවෙලා තිබෙනවා. ඉස්සර විදියට තිබුණ අක්කර 78 ක සීමාව පන්සලට හොඳටම ඇති. පුරාවිද්‍යා නිළධාරීන් හා පන්සලේ සාදු එකතුවෙලා මේ මිනිස්සු අතර ගැටළුවක් හදන්න තමයි උත්සහ ගන්නේ කියලා තමයි අපිට හිතෙන්නේ.

එහෙම නැතුව පැරණි ඉඩම් ප්‍රමාණය තුළ පන්සල දියුණු කරනවානම් අපේ කිසිම විරුද්ධත්වයක් නෑ."


 

තන්නිමුරුප්පුව ගම්වාසීන් ජිවත්වු ඉඩම් වෙත නව පුරාවිද්‍ය සීමා මායිම් ගල් යොදා ඇති අයුරු.



තන්නිමුරුප්පුව ජනාවාස හා යුද්ධය හේතුවෙන් ජනාවාස අහිමිවීම.


තන්නිමුරුප්පුව ගම්මානයේ ජනාවාසකරණය හා ගම්වාසීන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් ගම්මානයේ ජිවත්වු බාස්කරන් සුසිලාදේවි මහත්මිය ඉදිරිපත් කළේ මෙවැනි අදහසකි. 


 

බාස්කරන් සුසිලාදේවි මහත්මිය.

වතුර පිරුණු වැවක් තියාගෙන අපි වගා කරන්නේ ටිකයි.

දෙවියන් ඉන්නේ ඔයාලාට විතරද, අපිට නැද්ද ?


" 1984 අපි තන්නිමුරුප්පුවේ පදිංචිවෙලා හිටියා. ඒ කාලයේ තන්නිමුරුප්පුව හා ආණ්ඩාන්කුලම කියලා ගම්මාන දෙකක් කුරුඳුර්මලෙයි සීමාවේ පිහිටලා තිබ්බා. ඒ ගම්මානවල පවුල් 75 ක් විතර පදිංචිවෙලා හිටියා. ඒ කාලයේ අපේ ගම්මානයේ පහ ශ්‍රේණිය වෙනකම් ඉස්කෝලයක් තිබුණා. වාරිමාර්ග කාර්යාලයක් තිබ්බා. තැපැල් කන්තෝරුවක් තිබ්බා. අපි බොහොම ලස්සනට ගමේ ජිවත්වුණා.

ඒත් යුද්ධයත් එක්ක යුධ හමුදාවෙන් අපේ ගම්මානවලට පහරදුන්නා. අවස්ථා ගණනාවකදී පහරදුන්නා. එල් ටි ටි කදවුරු කියලා හිතලා හෙලිකොප්ටරවලින් ගම්වලට බෝම්බ දැම්මා. අපිට ගම්මානවල ඉන්න බැරිවුණා. අපි ගම්මාන අතහැරලා ගියා. කොටසක් මුලතිව් නගරයට ගියා. කොටසක් කුමුලමුනෙයි ප්‍රදේශයට ගියා. තවත් කොටසක් මන්නාරම මඩු ප්‍රදේශයට ගියා. එහෙම ගිහිල්ලා කඳවුරුවල තමයි අපි හිටියේ. "


  තන්නිමුරුප්පුව පැරණි පාසල පැවති ස්ථානය.


  ගම්මානයේ පවතින පැරණි වාර්මාර්ග ගොඩනැඟිල්ලක්.


"අපි 1984 ගම් අතහැරලා යනකොටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැන් අලුතෙන් ගල් දාලා තියෙන සීමාවේ අපේ ගෙවල් දොරවල් තිබ්බා. අපේ ගමේ පාසල, තැපැල් කන්තෝරුව, වාරිමාර්ග කාර්යාලය, වී ගබඩාව තිබ්බා. අපි ඒ සීමාවේ කුඹුරු වගාවන් හා හේන් වගාවන් කෙරුවා. ඒත් දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අපි වගා කරපු සීමාවේ වගා කරන්න දෙන්නේ නෑ. එහෙම වගා කෙරුවොත් අපි අල්ලලා නීතියට ගෙනියනවා. එහෙම අපේ ගම්වල කීහිපදෙනෙක්ම අල්ලලා නිතියට ඉදිරිපත් කෙරුවා.

අපි ජිවත්වුණ සීමාව පුරාවිද්‍යා රක්ෂිතයක් වුණේ කොහොමද කියලා අපිට හිතාගන්න බෑ. දැන් අවුරුද්දත් දෙකක ඉදලා තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් පුරාවිද්‍යා රක්ෂිත වෙන් කරගන්න මතක් වෙලා තිබෙන්නේ. මේ ප්‍රශ්න ගැන අපි දෙවියන්ට තමයි කියන්න වෙලා තිබෙන්නේ. අපිට කිසිම තැනකින් පිහිටක් ලැබෙන්නේ නැති පාටයි. "



කුරුන්දි විහාර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම.


කුරුන්දි විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම හා පවතින ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් කුරුන්දි විහාරාධිපති, උතුරු පළාත් ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිගෙන් විමසුවෙමි.


 

කුරුන්දි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි.


"කුරුන්දි විහාර සංකීර්ණය උතුරු පළාතේ තිබෙන ප්‍රධානතම විහාර සංකීර්ණයක්. මේ විහාර සංකීර්ණයට වංශ කතාවන්හි ප්‍රධාන ස්ථානයක් හිමවෙලා තිබෙනවා. කුරුන්දි අටුවාව කුරුන්දි විහාරය කේන්ද්‍ර කරගනිමින් ලියැවිලා තිබෙනවා. විහාර සංකීර්ණය ඝන කැළැවකින් වැහිලා තිබෙනකොට තමයි විහාරයේ ප්‍රතිසංස්කරණය කිරීම 2021 ජනවාරි 18 අවුරුද්දේ මගේ උපදේශකත්වයෙන් ආරම්භ කළේ. විහාරයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරන්න එනකොට විහාර සංකීර්ණය රූස්ස කැළැවකින් වැහිලා තිබුණේ.

අපි ඒ කැළැව එළි කරලා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළා. එහෙම ආරම්භ කරලා විහාරස්ථානයේ පුරාවිද්‍යා නටඹුන් එළි කරගන්නකොට තමයි දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ගැටළුව ඇති වුණේ.

තන්නිමුරුප්පුව ගමේ ගම්වාසීන්ට විහාරස්ථානය ප්‍රතිසංස්කරණ ගැටළුවක් වුණේ නෑ. තන්තිමුරුප්පුව ගමේ ජනතාව මුල් අවදියේ විහාර සංකීර්ණයේ ප්‍රතිසංස්කරණවලටත් උපකාර කළා. ප්‍රතිසංස්කරණ අතුරතුර තමයි 1933 නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් සීමාවට එපිට සීමාවෙත් පුරාවිද්‍යා නටඹුන් පවතින බවට අනාවරණය වුණේ. ඒහෙම අනාවරණය වුණාට පස්සේ තන්තිමුරුප්පුව ගමේ ජනතාවත් 2022 අගෝස්තු හා සැප්තැම්බර් මාසයන්හිදී නව පුරාවිද්‍යා සීමාව තුළ පුරාවිද්‍යා ගල් දාන්න උදව් කළා.

එහෙම උදව් කරමින් ඉන්නකොට එක්තරා දෙමළ දේශපාන පක්ෂ මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා ජනතාවගේ මනසට වැරදි තොරතුරක් දුන්නා.

ඒ එක්කම ජනතාවත් පන්සල ගැන වැරදි චිත්‍රයක් මවා ගත්තා. නැත්නම් තන්නිමුරුප්පුව ගමේ ජනතාව මුල් අවස්ථාවේ විහාරයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සහයෝගය ලබාදුන්නා. දැන් ඔය පුරාවිද්‍ය ඉඩම අල්ලගෙන හිටපු කිහිපදෙනක් තමයි ඔය කියන ප්‍රශ්නය ඇතිකරන්න මුල්වෙලා තිබෙන්නේ. ඒ අයට තන්නිමුරුප්පුව ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අක්කර සිය ගාණක් තිබෙනවා. ඒ අතරේ පුරාවිද්‍ය රක්ෂිතයේ ඉඩම් අල්ලගෙන ඒවාට අයිතිවාසිකම් කියනවා.

දැන් ඔය පුරාවිද්‍යා සීමාවට හා වන සංරක්ෂණ සීමාවට ගමේ මිනිස්සුන්ගේ පැරණි කුඹුරු ඉඩම් කිසිවක් අයිවෙලා නෑ. දැන් අවුරුදු තුන හතරකට කලින් රක්ෂිතය කපලා එළි කරපු සුළු ඉඩම් ප්‍රමාණයක් තමයි අයිතිවෙලා තිබෙන්නේ. කාට වුණත් ඒ ගැන නිරීක්ෂණ කරන්න පුළුවන්. "



කුරුන්දි විහාරස්ථානය හා තන්නිමුරුප්පුව ඉඩම් ගැන දේශපාලන මතය.



මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මුලතිව් තන්නිමුරුප්පුව ගොවි ජනතාවගේ වගා ඉඩම් ලබා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටිති.

මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා තන්නිමුරුප්පුව වැසියන්ගේ වගා ඉඩම් පුරාවිද්‍ය රක්ෂිතයට පවරා නොගන්නා ලෙසට ඉල්ලීම් කරමින් 21 වැනිදාද කුරුන්දි විහාරස්ථානයට පිවිසෙන පිවිසුම ඉදිරිපස විරෝධතා වැඩසටහනක නිරතවිණ.



   රවිහරන් මහතා ඇතුළු පිරිස විරෝධතාවයක් පවත්වන අයුරු.



කුරුන්දි විහාරස්ථානය හා තන්නිමුරුප්පුව ජනතාවගේ වගා ඉඩම් පුරාවිද්‍ය රක්ෂිතය වෙනුවෙන් පවරා ගැනීම සම්බන්ධයෙන් රවිහරන් මහතාගෙන්ද විමසීමි.


"යුද්දේ කාලයේදීත්,යුද්ධයෙන් පසුව 2020 අවුරුද්ද වෙනකම් තන්නිමුරුප්පුව ගමේ ජනතාව තමයි කුරුඳුර්මලෙයි පුරාවිද්‍යා ස්ථානය ආරක්ෂා කළේ. අපේ දෙමළ ජනතාව වැදුම් පිදුම් කරපු කෝවිලක් තමයි අවුරුදු ගණනාවක් ඔය ස්ථානයේ පිහිටලා තිබ්බේ.

ඒත් හදිසියේම කුරුඳුර්මලෙයි ප්‍රදේශයට ආපු සාදු කෙනෙක් අපේ මිනිස්සු වැදුම් පිදුම් කරපු කෝවිල තිබුණ ස්ථානයේ පන්සලක් හදන්න පටන් ගත්තා. ඒත් එක්කම අපේ මිනිස්සු වගා කරපු කුඹුරු ඉඩම් හා හේන් ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් පුරාවිද්‍ය රක්ෂිතයට පවරාගෙන තිබෙනවා.

අපි කියන්නේ අපේ ජනතාවගේ ඉඩම් අලුතින් පුරාවිද්‍යා රක්ෂිතයක් කියලා නම් කරපු ප්‍රදේශයට පවරා ගැනීමෙන් අපේ ජනතාවට වගා කරන්න අවස්ථාවක් නැතිවෙලා තිබෙනවා. බෞද්ධ ජනතාව කිසිම කෙනෙක් නැති කැළැව මැද්දේ ඉඩමක පන්සලක් හදලා ඒ තුළින් මොකක්ද බලාපොරොත්තුවෙන්නේ කියලා අපිටනම් තේරෙන්නේ නෑ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිතිවෙලා තිබුණ ඉඩමට අමතරව තවත් අක්කර 200 ක් විතර අලුතෙන් පවරාගෙන පුරාවිද්‍යා රක්ෂිතයක් නම් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

මේ ගැටළුව හරහා නැවත වතාවක් ජාතීන් අතර අසමගිය ඇති කරන්න කාටද උවමනා වෙලා තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ නෑ. අපි ඉල්ලන්නේ ජනතාව කැඳ ටිකක් හරි බොන්න වගා කරපු ඉඩම් නිදහස් කරලා දෙන්න කියලා විතරයි."


ගැටළුව සම්බන්ධයෙන් විද්වත් මතය.


තන්නිමුරුප්පුව ජනතාවගේ ඉඩම් අයිතිය හා කුරුන්දි විහාරස්ථානය සම්බන්ධයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහේන්ද්‍රන් තිරුවරගන් මහතාගේ අදහස විමසීමේදී හෙතෙම පැවසූවේ,


"කුරුඳුර්මලෙයි කියන ස්ථානයේ දමිළ බෞද්ධ ජනතාව අතීතයේ වැදුම් පිදුම් කරන්න ඇති කියලා විශ්වාස කළත්, වර්තමානයේදී අදාළ ස්ථානය ආසන්නයේ බෞද්ධ ජනතාව වාසය කරන්නේ නෑ.

කුරුඳුර්මලෙයි කියන ස්ථානය සිට කිලෝමීටර 15 ක් 20 ක් අතර සීමාවේ කිසිම බෞද්ධ බැතිමතෙක් නෑ කියලා තමයි මගේ දැනීම.

වර්තමානයේදී කුරුඳුර්මලෙයි කියන ස්ථානය ආසන්නයේම පදිංචිවෙලා ඉන්නේ දමිළ ජනතාව. ඒ අයගේ කුඹුරු ඉඩම් තමයි ඒ අවට තිබෙන්නේ.

තන්තිමුරුප්පුව ගමේ දමිළ ජනතාවගේ කුඹුරු ඉඩම් කුරුන්දූර්මලේ විහාරස්ථානයේ ඉඳලා මීටර 500 ක පමණ දුරකින් තිබෙනවා. ඒ ජනතාව වගාවට ජලය ලබාගන්න වැවත් දාගැබ ආසන්නයේම තමයි තිබෙන්නේ.

බෞද්ධ විහාරයක් වේවා, හින්දු කෝවිලක් වේවා, ඉස්ලාම් පල්ලියක් වේවා, කිතුණු දේවස්ථානයක් වේවා අලුතෙන් ඉදිකරනවා නම් අදාළ ස්ථානයේ ඒ ඒ ආගමික ස්ථාන වෙත වැදුම් පිදුම් කරන ජනතාව ජිවත්විය යුතුයි.

එහෙම නැතිව ආගමික ස්ථාන, කැළැවන් තුළ, කදු මුදුන් තුළ ඉදිකිරීම හරහා අත්වෙන ප්‍රයෝජනය මොකක්ද කියන ගැටළුව පැන නඟිනවා.

කුරුඳුර්මලෙයි කියන ස්ථානයේ පුරාවිද්‍යා ස්මාරක පවතිනවා වෙන්න පුළුවන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒවා ආරක්ෂා කිරීම කළ යුතුයි. ඒත් දැන් වෙලා තිබෙන්නේ කුරුන්දූර්මලේ ප්‍රදේශයේ අලුතෙන් දාගැබක් හැදීමයි.

අලුතෙන් දාගැබක් හැදීමෙන් කුරුඳුර්මලෙයි අවට සිටින දමිළ ජනතාව තුළ යම් නොසන්සුන්කමක් ඇතිවෙලා තිබෙනවා.

එවැනි සිදුවීමකින් ආගමික සහජීවනයට, ජාතීන් අතර සමඟියට යම් බාධාවන් ඇති නොවිය යුතුයි."


උතුරු නැගෙනහිර නව බෞද්ධ විහාර හා කෝවිල් සකස් කිරීමේ ගැටළුව.

 

යුද්ධයෙන් අනතුරුව ගතවු පසුගිය වසර තුන හතරක කාලය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම, නව දාගැබ් සකස් කිරීම, නව භාවනා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා නව කෝවිල් සකස් කිරීම ස්ථාන ගණනාවක සිදුවෙමින් පවතින බව උතුරේ මධ්‍යස්ථ මතධාරීන්ගේ මතයයි.


මුලතිව් කුරුන්දි දාගැබ, යාපනය කන්කසන්තුරය ප්‍රදේශයේ ඉදිකළ තිස්ස දාගැබ, නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි ගල් කන්දේ ස්ථාපිත කළ නව ශිව කෝවිල ආදි ස්ථාන ගතවු වසර හතරක කාලය තුළ ඉදිවෙමින් පවතින අතර, ඒ හරහා ජාතීන් අතර යම් අසමඟියක් ඇති වෙමින් පවතින බවද ඔවූහු පවසති.


කුරුන්දි දාගැබේ ගැටළුව, කන්කසන්තුරය තිස්ස දාගැබ,වෙඩුක්කුනාරි ශිව කෝවිල ආදි නව ආගමික ස්ථාන ඉදිකිරීම තුළින් නැවත වතාවක් ජාතින් අතර, ආගම් අතර ගැටළුවක් ඇති නොවීමට වගබලා ගතයුතු බවද මධ්‍යස්ථ මතධාරීන්ගේ ඉල්ලීමයි.


කුරුන්දූර්මලේ ඉඩම් ගැටලුව ගැන මීට පෙර පලවූ ලිපි


PARL Youtube