"මහවැලි අම්මා" නමින් මහවැලියේ වාහන වල බෝඩ් ගසා තිබුණද තොපිට කොහෙද දරු සෙනෙහසක්...

බදුල්ල දිස්ත්‍රික්යේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇකිරියන්කුඹුර සහ දෙහිගම තුලාන් වලට අයත් ගොවීන් තම පාරම්පරික හේන් ඉඩම් වලින් ඉවත් කිරීමට මහවැලි  අධිකාරිය විසින් කඩිනමින් කටයුතු කරමින් ඇත.

2017 වසරේදී මෙම ඉඩම් මහවැලි සංවර්ධන අධිකාරිය යටතට  ගැසට් පත්‍රයක් මඟින්  පවරන අවස්ථාව  වන විටත් මෙම ගොවීන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට වාර්ෂික බදු බලපත්‍ර ගාස්තු ගෙවමින් හා රජයෙන් ලබාදෙන පොහොර සහනාධාර ආදිය ලබමින් තම  වගා කටයුතු සිදුකිරීම් සිදුකර තිබිණි . 

පරම්පරා තුනකට අධික කාලයක් රටට බරක් නොවී තම ජිවිකාව සරිකරගත් මෙම ගොවීන් තම නිජ බිම් වලින් පලවා හැරීමට වසර 17 ක් තිස්සේ ජනාධිපති වරුන් තුන්දෙනෙකු යටතේ අතිවිශාල පරිශ්‍රමයක් දරන්නේ මේ අහිංසක් ගොවීන්ගේ ජීවන පැවැත්ම සහමුලිනම විනශ කරමින්ය.මහින්ද රාජපක්ෂ සහ සිරිසේන ජනාධිපති වරුන් යටතේ මෙන්ම වත්මන් නන්දසේන ජනාධිපති වරයා යටතේද ඒ උත්සහය අතහැර නොමැත. 

මෙම ඉඩම් අත්පත් කරගැනීමට උත්සාහ දරන්නේ ඌවේ සාරවත් මහ පොලව මරා දමමින්  අක්කර 62500 පුරා  ආරම්භ කිරීමට සැලසුම් කරණු ලබන උක් වගා ව්‍යාපෘතිය සඳහා ලබා දීමටය. 

අදාළ  උක් වගා ව්‍යාපෘතියේ  කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා පමණක් දෙහිගම සහ ඇකිරියන්කුඹුර ගොවීන් වගාකරමින් ඇති අක්කර 572ක භූමී ප්‍රමාණය මේ ආකාරයෙන් කිසිඳු  වග වීමකින් තොරව වගා බිම් කපා  විනාශ කරමින් තම අස්වැන්න වන සතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා සකසා තිබූ පැල්කොට පෙරලා දමමින් විනාශ කර දමන්නේ ඒ මහා සමාගම්වල අවශ්‍යතාවය මතය. 


මේ උත්සාහය කර්මාන්ත ශාලාව සඳහා පමණක් ඉඩම් අත්පත්කර ගැනීමට වන අතර  මෙයට අමතරව උක් වගාව සඳහා බදුල්ල, අම්පාර, මොණරාගල දිස්ත්‍රික් වලින් මේ ආකාරයෙන්ම ඉඩම් අත්පත්කර ගැනීමට නියමිතය. එසේම එම ඉඩම් අත්පත්කර ගන්නා ස්ථාන තවම නිශ්චිතව  පෙන්වා දී නොමැති වුවද  නියත වශයෙන්ම ඉහත සදහන් කළ දිස්ත්‍රික්ක වල ගොවීන්ගේ සාරවත් ගොවි බිම්, වනාන්තර පද්ධති, අත්පත් කර ගැනීමට හැකිය.

පහුගිය කාලය  පුරාම ආණ්ඩුව විසින් ඉඩම් පරිපාලනයට අදාළ   අණ පනත් සංශෝධනය කරමින් කටයුතු කරන ආකාරය තුළ පැහැදිළි  වන්නේ ගොවීන්ගේ පාරම්පරික වගා බිම් ඇතුලු රජය සතු ඉඩම් මහා පරිමාණ ආයෝජකයන් ඉලක්ක කර  වෙළෙඳ පොළට සූදානම් කිරීම සඳහා ගනු ලබන නීතිමය පසුබිම් සකස් කිරීමක් ලෙසය. 

එබැවින් ඌවේ බිම් පමණක් නොව සමස්ත රටේම ගොවි බිම්, වන සතුන්ගේ නිජ බිම් මෙන්ම සමස්ත පරිසර පද්ධතියම බේරාගැනීම වෙනුවෙන් දැවැන්ත මැදිහත් වීමක් සාමූහිකව සිදු කළ යුතුය.  එසේම  පෙබරවාරි 07 වන දින  සිදුකළ  වගා සංහාරය නම් නින්දිතය.  


"මහවැලි අම්මා" නමින් මහවැලියේ වාහන වල බෝඩ් ගසා තිබුනද තොපිට කොහෙද දරු සෙනෙහසක්... පුරා අවුරුද්දක් තම දරුවන් පෝෂණය කිරීමට , අධ්‍යාපනය ලබාදීමට, බෙහෙත් හෙත් ටික ගැනීමට, දනට පිනට දීමට, අවසානයේ මිණිය වළලා ගැනී වෙනුවෙන් ,  වගා කරගත් බවභෝග සියල්ල  විනාශ කලේ "අම්මා" යන උතුම් අකුරු තුනටද නිගා කරමිනි. 

රුහිරය හෙලා මහ පොලවට පන දුන්නා 

දරු මුණුපුරන් මුලු දිවියම  රැක ගන්නා

නැත කිසි බරක් ලෝකෙට අප සැමගෙන්මා

අප දිවි තොර කරන්නේ ඇයි  මහවැලි සුම්මා..


රේණුක සම්පත් | ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ  ව්‍යාපාරය